කුණු කන අලි
(2019 05 27 දින)
කැළිකසල
කළමනාකරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු සැලකියයුතු
සාර්ථකත්වයක් අත්කරගෙන නැති ශ්‍රී
ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල ගොඩගැසෙන කසළ
සඳහා ඇති එකම පිළියම කොහේ හෝ තැනකට ගෙන ගොස් කඳු ගසා තැබීම පමණයි.
අසරණ මිනිස් ජීවිත ගණනාවක් මීතොටමුල්ල කසළ
කන්දේ පණපිටින් මිහිදන් කිරීමෙන් පස්සේ වත් ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් කිසිම තිරසාර
වැඩපිළිවෙලක් නැහැ. මිනිසුන්
වගේම වනාන්තර වල ජීවත්වන අලි ඇතුන් ඇතුළු වනජීවීනුත් මේ කසළ කඳු නිසා අකාලයේ මරණයට
පත්වීම සැබැවින්ම ඛේදවාචකයක්.
කසළ ආහාරයට ගන්නා මුවන් ගෝනුන් වගේ වමාරා කන සතුන්ගේ රෝමාන්ත්‍රයේ
පොලිතින් එක්රැස්වීම නිසා එම සතුන් අකාලයේ මරණයට පත්වූ අවස්ථා බොහෝ ප්‍රදේශවලින්
වාර්තාවෙලා තිබෙනවා. නමුත්
කුණු කෑම නිසා අලින්ට දිගුකාලීන සෞඛ්‍ය බලපෑම් ඇතිවිය හැකියි කියලා තවමත් ක්ෂේත්‍රයේ
ඇතැම් ප්‍රවීණයන් පවා පිළිගන්නේ නැහැ. අලින්ගේ ආහාර මාර්ගය විශාලවීම නිසාත් එහි වමාරා කන සතුන්ගේ මෙන්
රෝමාන්ත්‍රයක් පිහිටා නොතිබීම නිසාත් පොලිතින් ප්ලාස්ටික් වගේ ද්‍රව්‍ය තැම්පත්
වීමක් සිදුනොවීම ඊට හේතුවක්. නමුත්
කසළ ආහාරයට ගැනීම නිසා එම සතුන් විවිධ සෞඛ්‍ය තර්ජන වලට ලක්වෙලා අකාලයේ මරණයට පත්වෙන
බව තවදුරටත් රහසක් නොවෙයි. ඒ
නිසා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිකලයුතු බව අවධාරණය කලේ ලියුම්කරුගේද ගුරුවරයෙකු
වන ශ්‍රී ජයවර්ධනපුර
සරසවියේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය උපුල්
සුබසිංහයන්.
කසළ කියන්නේ පළාත්පාලන ආයතනවලට අයත් සම්පතක් වුනත් ඔවුන් එමගින්
නිසි පල ප්‍රයෝජන ලබාගන්නේ නැහැ. ඒ
වෙනුවට වනාන්තර ප්‍රදේශ ආසන්නව පිහිටා ඇති පළාත්පාලන ආයතන සිදුකරන්නේ තම බලප්‍රදේශවල
එක්රැස්වන කසළ කිසිඳු පැකිලීමකින් තොරව වනාන්තරයකට ගෙනගොස් දැමීම.
දිවයිනේ ස්ථාන 57ක අලි ඇතුන් කසළ ආහාරයට ගැනීම සඳහා පැමිණෙන මෙවැනි කසළ වලවල්
තිබෙන බව සංරක්ෂණවේදී ශශිකලන රත්වත්ත විසින් සිදුකල අධ්‍යයනයකින් පෙනීගොස් තිබෙනවා.
ඒ අතරින් වඩාත් ප්‍රචලිත දඹුල්ල -
දිගම්පතාන කසළ වල.
අලි ඇතුන් තිහක් පමණ දිනපතා කසළ අනුභව
කිරීමට මෙම කසළ වලට පැමිණෙනවා.
කුණු කෑම නිසා අලි ඇතුන්ට එල්ලවෙන සෞඛ්‍ය තර්ජන ගැන වනජීවී
සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දශක එකහමාරකට ආසන්න අත්දැකීම් ඇති වනජීවී පශුවෛද්‍ය අප
හිතවත් ප්‍රමුධිත දේවසුරේන්ද්‍රයන් විසින් තමන්ගේ වන අලින්ට කළ වෙදකම් (2019)
කෘතියේ පුළුල්ව විග්‍රහකර තිබෙනවා.
ඒ කසළ අනුභව කරමින් කසළ වලවල් අසලම රැඳී
සිට අකාලයේ මරණයට පත්වූ සද්දන්තයින් ගණනාවකගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ලබාගත්
අත්දැකීම් ඇසුරින්.
දිවේ සංවේදීතාවය ඉතා වැඩි නිසා යම්කිසි ආහාරයක රසයට ඇබ්බැහිවීමේ
ප්‍රවණතාවයක් අලි ඇතුන් විසින් දක්වනවා. වනාන්තරයේ ඇති රළු ශාක ආහාර වලට වඩා කුණු වළවල්වල ඇති එළවළු,
පලතුරු හා පිසූ ආහාර වලින් අලින්ට වැඩි
රසයක් දැනෙන නිසා ඔවුන් දිගින් දිගටම ඒ රසය සොයා පැමිණෙන බවයි පශුවෛද්‍ය
දේවසුරේන්ද්‍ර පවසන්නේ. එසේම
මෙවැනි ආහාර දිගු කාලීනව ගැනීමෙන්, ශාකමය
ආහාර ජීර්ණය සඳහා විශේෂයෙන් සකස්වී ඇති අලින්ගේ ආහාර මාර්ගයේ සිදුවන සංකීර්ණ
ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරකම් හා එන්සයිම ජීර්ණයන් අක්‍රමවත් වීමෙන් අලින්ට ගැටළු
ඇතිවෙනවා. අලි
ඇතුන් බොහෝ ගිජුලෙස ගිල දමන පිළුණුවූ ආහාර වල රෝගකාරක ක්ෂුද්‍රජීවීන් සිටිනවා.
ඒ වගේම පොලිතින් අසුරන තුල හිරවී ඇති
ආහාරවල අඩු ඔක්සිජන් තත්ත්ව යටතේ විෂ සහිත නිර්වායු බැක්ටීරියා වර්ධනය වෙනවා.
අලි ඇතුන් කාලාන්තරයක් තිස්සේ එම ආහාර
ගැනීම නිසා විෂ ශරීරයේ තැන්පත්වී අක්මාව, ප්ලීහාව
වගේ ඉන්ද්‍රියන් අකර්මන්‍යකරනවා. ඒ
වගේම අධික ලෙස පෝෂ්‍යදායී ආහාර ගැනීම නිසා අලි ඇතුන්ගේ සිරිරු තුල මේධය අධික ලෙස තැන්පත්
වෙනවා.
ඔවුන් තරබාරු අලින් බවට පත්වෙනවා.
සාමාන්‍යයෙන් අලියෙකු තම දෛනික ආහාර අවශ්‍යතාව
සපුරාගැනීමට අඩු තරමින් දිනකට කිලෝමීටර් විස්සක් වත් ඇවිද යනවා.
නමුත් කුණු වලවල් අසළම ජීවත්වෙමින් එයින්
යැපෙන අලින්ට එම ව්‍යායාමය ලැබෙන්නේ නැහැ.
ඒ නිසා අධික ලෙස පෝෂ්‍යදායී ආහාර ලබාගැනීම,
ආහාරවල අන්තර්ගත විෂ සහ අහිතකර ක්ෂුද්‍රජීවීන්
වගේම අලස ජීවන රටාව මෙවැනි අලි ඇතුන් අකාලයේ මරණයට පත්කරන බවයි පශුවෛද්‍ය
දේවසුරේන්ද්‍ර පවසන්නේ. දිනකින්
දෙකකින් මෙහි බරපතල ආදීනව දකින්නට ලැබෙන්නේ නැති නිසා කිසිවෙකුත් ඒ ගැන සැළකිල්ලක්
දක්වන්නේ නැහැ. දිගු
කලක් තිස්සේ මෙම අහිතකර තත්වයන්ට නිරාවරණය වන අලින් අවසානයේ මරණාසන්නව බිම ඇද
වැටෙන්නේ සිදුවී ඇති විපත ලොවටම හඬගා කියමින්. නමුත් ඒ වනවිට ඔවුන් කිසිම ආකාරයකින් යලි නගා සිටුවීමට නොහැකි
තරම් දරුණුලෙස රෝගාතුරව සිටින නිසා ඔවුන් බේරාගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ
නැහැ.
මෙම
ඛේදවාචකයට තිත තියන්න නම් කසළ කළමනාකරණය විධිමත් කලයුතුම වුනත් ඒ සම්බන්ධ පණ්ඩිත
වාක්‍ය ලියලා අපේ වගේ රටකට වැඩක් නැහැ. අලින් කසළ කෑමට පැමිණෙන ඇතැම් ස්ථානවල ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන්
ක්‍රියාත්මක වුනත් ඒවාත්
ගැටලුව විසඳීමට කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ
නැහැ. ඒ නිසා අඩුම තරමින් මෙවැනි කුණු වලවල් අලි
ඇතුන් ඇතුළු සතුන්ට ඇතුළුවෙන්න බැරි විදිහට විදුලි වැටකින් හෝ ආවරණය කිරීම කාලෝචිත
බවයි මහාචාර්ය සුබසිංහයන්ගේ වගේම පශුවෛද්‍ය දේවසුරේන්ද්‍රගේත් අදහස.
සොබාදහමෙන් අපට ලැබුණු මේ වටිනා වනජීවී
සම්පත් ටික රැකගැනීම සඳහා ඒ පැලැස්ත විසඳුමවත් කඩිනමින් ක්‍රියාවට නගන්න
වගකිවයුත්තන් මැදිහත් වෙනවානම් ලොකු දෙයක්.
Comments
Post a Comment