ජල ගැලුම් නිම්න
(2019 08 05 දින)
අනවසර පදිංචිකරුවන් හේතුවෙන් පසුගිය කාලයේ නොයෙකුත් ගැහැට වලට මුහුණදීමට සිදුවූ ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය සම්බන්ධයෙන්, සංරක්ෂණයට ලැදි පිරිසට ඉතා සතුටුදායක ප්‍රවෘත්තියක් පසුගිය සතියේ අහන්න ලැබුණා. ඒ මෙම ජාතික උද්‍යානය අනවසරයෙන් අත්පත්කරගෙන සිටි අනවසර පදිංචිකරුවන් 162ක් උද්‍යානයෙන් ඉවත්කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කිරීම. වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ ප්‍රතිපාදන අනුව මෙම අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට අදාල නීතිමය කටයුතු සිදුකළ වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් අපගේ කෘතවේදීත්වය පිරිනැමිය යුතුමයි.
ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලිය තම තිඹිරිගෙයි ඉඳන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මුහුදට වැටෙන තැන දක්වාම සුවිශේෂී පරිසර පද්ධති රැසක ඊට අනන්‍ය සහ ආවේණික සත්ව සහ ශාක ප්‍රජාවන් රැසකට නිවහන සාදා දෙනවා. මහ නුවර කිට්ටුව තියෙන හක්කිඳ දූපත් සහ පොළොන්නරුවේ ජල ගැලුම් නිම්නය ඊට කදිම නිදසුන්. නමුත් මේ පරිසර පද්ධති කිසිම එකකට මිනිස් බලපෑමෙන් තොරව නිදහසේ පවතින්න පහුගිය කාලය පුරාවටම අමන දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, චීවරධාරීන් වගේම ඇතැම් අවස්ථාවල සාමාන්‍ය ජනතාවත් ඉඩ දුන්නේ නැහැ.
හක්කිඳ දූපත් යටකරමින් මහවැලි ගඟ හරහා වේල්ලක් ඉදිකර ජලවිදුලි බලාගාරයක් ඉදිකරන්න දරපු උත්සාහය පරාජය කරන්න පරිසරක්‍රියාකාරීන් මීට කලකට පෙර විශාල වෙහෙස මහන්සියක් දැරුවා. ඒ වගේම ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයට අයත් සුවිශේෂී පරිසර පද්ධති ආරක්ෂා කරගන්නත් එවැනිම වෙහෙසක් දරන්න පොළොන්නරුව වනජීවී කලාපයේ සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රධානව පොළොන්නරුව වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී සංරක්ෂණ නිලධාරීන් ඇතුළු ඇල්මැති පාර්ශවවලට සිදුවුණා. එහි ප්‍රතිපලයක් හැටියට තමයි මේ අධිකරණ නියෝගය ලැබිලා තියෙන්නේ. ඒ වගේම මෙම අනවසර අත්පත්කර ගැනීමට නතුවූ වෙහෙරගොඩයාය ප්‍රදේශයේ අක්කර 2000ක භූමි ප්‍රමාණයක් උද්‍යානයෙන් ඉවත්කරන්න ආණ්ඩුවේ ඉහළම පිරිසක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරන බව පරිසර ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිවෙමින් පැවති අවස්ථාවක මෙවැනි නඩු තීන්දුවක් ලබාදීමත් ඉතාම වැදගත්.
මහවැලි ගඟ පොළොන්නරුව ප්‍රදේශය හරහා ගලා යාමේදී එහි පිටාර තැන්න සුවිශේෂී තෙත්බිම් පරිසර පද්ධතියක් නිර්මාණය කරනවා. විල්ලු වශයෙනුත් හඳුන්වන මෙම පරිසර පද්ධතීන් ඉතා මනස්කාන්ත භූමි දර්ශන වගේම අලි ඇතුන් ඇතුළු විශාල සත්ව ප්‍රජාවකට ගොදුරුබිමුත් නිර්මාණය කරනවා. ශ්‍රී ලංකාවේ වන අලින්ගෙන් සියයට තිහකට වඩා වාර්තාවෙන මහවැලි වනජීවී කලාපයේ ඉතා තීරණාත්මක වනජීවී රක්ෂිතයක් වන ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය මෙම සුවිශේෂී පරිසර පද්ධතියට පමණක් සීමාවූ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ශරීර ප්‍රමාණයකින් යුක්ත විල් අලින්ගේ නිවහනද වෙනවා. ඒ වගේම දකුණින් පිහිටි වස්ගොමුව ජාතික උද්‍යානය සහ උතුරින් පිහිටි සෝමාවතී ජාතික උද්‍යානය එකට යා කරමින් පිහිටි මෙම ජාතික උද්‍යානය මහවැලි වනජීවී රක්ෂිත ජාලය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් මනා පිටිවහලක් ලබාදෙන අතර අලි ඇතුන්ගේ සෘතු සංචරනයටද ඉතා වැදගත් වෙනවා. 1984 අවුරුද්දේ අගෝස්තු 7 වැනිදා මෙම ප්‍රදේශයට අයත් හෙක්ටයාර් 17,350 ක භූමි ප්‍රමාණයක් ජාතික උද්‍යානයක් වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙන්නේ මෙම සුවිශේෂී පාරිසරික වටිනාකම් නිසාමයි.
නමුත් එදා මෙදා තුර මෙම රමණීය ජාතික උද්‍යානයේ පැවැත්මට එල්ලවූ තර්ජනවල නම් නිමක් නැහැ. පසුගිය කාලයේ අමනෝඥ වනජීවී සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පවා ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයට අයත් ඉඩම් කුඹුරු වගාව සඳහා විවිධ පුද්ගලයින්ට ලබාදෙමින් මාධ්‍ය සංදර්ශන පවත්වපු ආකාරය පිළිකුල්සහගතයි. තරමක් ආන්ධෝලනාත්මක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නම් දරා සිටි මෙම ඇමතිවරයාගේ ක්‍රියාකලාපය අළුත් දෙයක් නොවුනත්, ඔහු එවර අත තබා තිබුණේ ජාතියේ අනාගතයට හිමි වටිනා ස්වභාවික සම්පතකට බැවින් මේ පිළිබඳව සැමගේ අවධානය යොමුවිය යුතු බවත්, ඔහුද පෙරලා ඔහු කල දේ පිළිබඳව තම අවධානය යොමුකළ යුතු බවත් ලියුම්කරු එම අවස්ථාවේ අවධාරණය කළා.
ඒ වගේම මෙම ජාතික උද්‍යානය කලක් වැලි ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයටද දැඩිව නැතුව තිබුණේ වනජීවී නිලධාරීන් පවා කාර්යාල අඩස්සියට පත්කරමින්. මේ වනවිට එම තත්ත්වය වෙනස්වී ඇතත් බුද්ධ චීවරයට මුවාවී පොළොන්නරුව, ඕනෑගම, පුදූර් ප්‍රදේශයේ හිමිනමක දඩමීමා කරගනිමින් සංවිධානාත්මක පිරිසක් විසින් කලක සිට ජාතික උද්‍යානය තුල සිදුකරන මහා පරිමාණ වැලි ජාවාරමක් පිළිබඳවත් පසුගිය කාලයේ අසන්න ලැබුණා. තවද ජාතික උද්‍යානයේ අඩමන්කාඩුව සහ ආච්චිවිල ප්‍රදේශවල අවුරුදු දහස් ගණනක් පැරණි කුඹුක් ගස් විශාල සංඛ්‍යාවකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශකිරීමට කටයුතුකර තිබූ ආකාරයත් සෝචනීයයි.
තිස් අවුරුදු
යුද්ධය නිසා එතෙක් ආරක්ෂිතව පැවති උතුරු නැගෙනහිර වනාන්තර මේ වනවිට සීග්‍රයෙන් පටු
අවස්ථාවාදීන්ගේ ග්‍රහණයට නතුවෙමින් පැවතීම කණගාටුවට කරුණක්.
පශ්චාත් යුධ සමයේ සිදුවෙමින් පවතින මෙම මහා පරිමාණ වන විනාශයේ එක් දිගුවක් ලෙසත්
ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ සිදුවන ඉඩම් අත්පත්කර ගැනීම හැඳින්විය හැකියි. මෙම
ඉතා වැදගත් නඩු තීන්දුවත් සමග ඉහත සඳහන්කළ සියළු
අනර්ථකාරී මිනිස් ක්‍රියාකාරකම් වලින් ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය
ආරක්ෂාකිරීමට වනජීවී සංරක්ෂණ නිලධාරීන් පෙරමුණ ගනු ඇතැයි සංරක්ෂණයට ලැදි සියළුදෙනා
අපේක්ෂා දල්වා සිටිනවා. තවද මෙතුලින් මහවැලි කලාපයේ
සෝමාවතිය ඇතුළු සෙසු වනජීවී රක්ෂිත වල සිදුකෙරෙමින් පවතින විනාශයන්ට වගකිවයුතු අපරාධකරුවන්ටත්
රතු එළියක් දැල්වෙනු ඇතැයි සිතිය හැකියි.
එනිසා
මේ වනවිට සීග්‍රයෙන් විනාශ වෙමින් යන මහවැලි වනජීවී රක්ෂිත
ජාලයේ සුරක්ෂිතබව තහවුරු කිරීමට සියලු වගකිවයුත්තන් මේ මොහොතේ සක්‍රීයව කටයුතු කළයුතු
අතර ඊට අත පෙවීමෙන් වැළකී සිටීමට තක්කඩි දේශපාලකයින්ද තරයේ සිහිතබා ගතයුතු
බව අවධාරණය කරනවා.
Comments
Post a Comment