කොන්ක්‍රීට්කරණය



(2019 03 18 දින)

කොන්ක්‍රීට්කරණය, නාගරීකරණය සම්බන්ධ කටයුත්තක් ලෙස බොහෝ දෙනෙක් හිතා සිටියත් එය මේ වනවිට නගර ගම් දනව් පසුකරමින් වනාන්තරද ආක්‍රමණය කරන තත්ත්වයට පත්වෙලා. තැනක් නොතැනක් නැතිව ඕනෑම තැනක් කොන්ක්‍රීට්කරණය කිරීමට අපේ රටේ නිලධාරීන් හා බලධාරීන් දක්වන්නේ දැඩි උනන්දුවක්. පළාත්පාලන ආයතන, නාගරික සංවර්ධන අධිකාරිය වාගේ විවිධ රාජ්‍ය ආයතන තමන් දකින දකින තැන් කොන්ක්‍රීට්කරණය කිරීමට පටන් අරන් තියෙන්නේ පොදු යහපතට විනා කොමිස් කුට්ටි වලට ඇති කෑදරකම නිසා නෙවෙයි කියලා කාටහරි කියන්න පුළුවන්ද ? අවාසනාවට කරුණ තමයි මේ වනවිට එම උමතු රෝගය මෙරට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් බෝවී තිබීම.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති අපේ රටේ තියන ප්‍රසිද්ධම රක්ෂිත වනාන්තර දෙකක් වන සිංහරාජ අඩවිය සහ කන්නෙලිය රක්ෂිත වනාන්තරය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතින් කොන්ක්‍රීට්කරණයවීම මීට ආසන්නම උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. 2017 අවුරුද්දේ මැයි මාසේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සකස් කරලා ලෝක බැංකුවට බාරදී තිබෙන සිංහරාජය හා ප්‍රේරක කලාපයේ සංචාරක ප්‍රවර්ධනය සඳහා සකස් කෙරුණු ව්‍යාපෘති යෝජනාවට අනුව 2018 - 2021 කාලසීමාවේදී කුඩව පිටදෙණිය හා සිංහරාජ ලෝක උරුම සංරක්ෂිත වනාන්තරය තුල කිලෝ මිටර් තිහක පමණ මාර්ග හා සංචාරක නවාතැන් පහසුකම් සංවර්ධනය කිරීමට යෝජනාකරලා තියෙනවා. ඒ අනුව දැන් වැඩත් ආරම්භ කරලා. එමගින් මේ ලෝක උරුමය කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත්නොවයි කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්. ඒ වගේම කන්නෙලිය රක්ෂිත වනාන්තරයේ සංවේදී පරිසර පද්ධති හරහාත් කොන්ක්‍රීට් මාර්ග ඉදිකිරීම් හා කාණු පද්ධති සකස්කිරීම් නිසා විශාල විනාශයක් සිද්ධවෙමින් තියෙනවා. නමුත් මාධ්‍ය ඉස්සරහට ඇවිත් තමන්ගේ නිරුවත වහගන්න උත්සාහ කරනවා ඇරෙන්න බලධාරීන් කවුරුත් සිදුවෙමින් පවතින විනාශය වලක්වන්න කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ.

මිනිස්සු කැලයකට එන්නේ ගහක් වැලක්, සතෙක් සිව්පාවෙක්, ඇළක් දොළක් බලන්න දකින්න, නිදහසේ හුස්මක් ගන්න, සිසිලස විඳින්න. ඉතින් ගලක් මුලක් උඩින් පැනලා ඇවිදගෙන යන්න උනා කියලා, තමන්ගේ ගමන් මහන්සිය නිවාගන්න කොන්ක්‍රීට් විවේකාගාර නැතිවුනා කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට වනාන්තර හරහා ඇදී යන පාරවල් දිගට හරහට කොන්ක්‍රීට් හෝ ඉන්ටර් ලොක් ගල් අතුරා සංවර්ධනය කිරීමේ හා ගොඩනැගිලි ඉදිකිරීමේ බරපතල අවශ්‍යතාවයක් තියනවා කියලා හිතන්න අමාරුයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් මේ වග නොදන්නවා වෙන්න බැහැ. ඒත් ආණ්ඩුවෙන් හරි පිටරට ණය දෙන ආයතනයකින් හරි සල්ලි අරගෙන ඒකෙන් කොටසක් යටිමඩි ගහගෙන සංවර්ධනයක් කලා කියලා පෙන්නන්න තියෙන පහසුම ක්‍රමයක්නේ කොන්ක්‍රීට්කරණය. ඉතින් ඒ නිසා මේ වෙනකොට කොන්ක්‍රීට්කරණය සංරක්ෂණයේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් හැටියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් පෙනෙනවා ඇති.

නමුත් මේ වාගේ ජෛව විවිධත්වයෙන් පොහොසත් සහ අතිශය සංවේදී පරිසර පද්ධතිවලට අත තියන්න කලින් බලධාරීන් ඒ ගැන දෙපාරක් හිතනවානම් තමයි ගොඩක් වටින්නේ. උදාහරණයක් හැටියට අපේ රටට ආවේණික ශාක විශේෂ වලින් සියයට හැටකටත් වඩා වගේම සත්ව විශේෂ වලින් සියයට පනහකටත් වඩා සිංහරාජයේ වාර්තාවෙලා තියෙනවා. කන්නෙලිය ගත්තත් එහෙමයි. ඉතින් බලධාරීන් අත්තනෝමතික හා අසාධාරණ විදිහට මේ පරිසර පද්ධති විනාශ කලොත් එමගින් අපේ රටට ආවේණික සොබා උරුමයන් මේ මුළු මිහිතලයෙන්ම සමුගෙන යන්න වැඩි දවසක් ගතවෙන එකක් නැහැ.

කොමිස් කුට්ටි වලින් ඇස් අන්ධ කරගත්ත බලධාරීන්ගේ මේ අමනෝඥ සංවර්ධන කටයුතු නිසා පරිසර පද්ධතිවල සමතුලිතබව බිඳවැටුනාම ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ ඒ පරිසර පද්ධති ගොදුරුකර ගන්නවා. එමගින් අතිශය සංවේදී ගස් වැල් හා සතුන් සදහටම වඳවී යනවා. ඒ වගේම පස් සෝදාගෙන ගිහින් ඇළ දොළවල ගලා යන ජලයේ රසායනික වෙනස්කම් සිදුකිරීම නිසා ඒවායේ ජීවත්වෙන මසුන්, මිරිදිය කකුළුවන් හා උභයජීවීන් වාගේ සතුන් මරණයට පත්වෙනවා. බැකෝ යන්ත්‍රයක් මගින් මෙවැනි පරිසර පද්ධතියක් හාරලා ලබාගන්න එක පස් පිඩැල්ලක උරගයින්, උභයජීවීන් හා කෘමීන් වැනි සතුන් සිය ගණනක් ඉන්නවා කියලා කිව්වොත් සමහරවිට ඒක අතිශයෝක්තියක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඒත් ඒක තමයි ඇත්ත. එතකොට හිතන්න සංවර්ධනේ කියලා මේ වාගේ පස් පිඩැලි කීයක් කපනවද ? ඒ අනුව සත්තු කීදාහකට එමගින් බලපෑම් එල්ලවෙන්න පුළුවන්ද ? මේ වාගේ වනාන්තර වල තියෙන පොඩි පොඩි දිය පහරවල් වල පවා ආවේණික මාළු, මිරිදිය කකුළුවන්, උභයජීවීන් සහ උන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථා ජීවත්වෙනවා. ඒවා කොන්ක්‍රීට් කාණු බවට හැරෙව්වාම ඔවුන්ට යන එන මං නැතිවෙනවා. මේ විදිහට වන සතුන්ගේ වාසස්ථාන කොතෙකුත් විනාශවෙලා යන්නේ ඒවා ආරක්ෂාකරගන්න ඉන්න බලධාරීන් අතින්ම වීමත්, එම අමාත්‍යාශය පාලනය වන්නේ රටේ ජනාධිපතිවරයා අතින් වීමත් කොතරම් අභාග්‍යක්ද ?

පාරක් කොන්ක්‍රීට් හෝ ඉන්ටර් ලොක් ගල් ඇතිරීම, කාණුවක් කොන්ක්‍රීට්කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම වාගේ කටයුතු හරිම සරළ දේවල් හැටියටයි බැලූ බැල්මට පෙනෙන්නේ. නමුත් එමගින් පවා අපේ රටේ දැනට ඉතිරිවෙලා තියෙන නොඉඳුල් ප්‍රාථමික තෙත් වැසි වනාන්තරයක් සහමුලින්ම විනාශවෙලා යන්න පුළුවන් කියලා බොර දියේ මාළු බාන දේශපාලකයින් හා නිලධාරීන් මතක තියාගත්තොත් හොඳයි.

Comments

Popular posts from this blog