ටිකිරිලාගේ ශෝකාන්තය

(2019 08 19 දින)

තම ජීවිතයේ සැන්දෑ සමය ගතකරමින් සිටින ටිකිරිනම් ඇතින්නක් පසුගියදා නිමාවට පත්වූ මහනුවර දළදා පෙරහැරේ ගමන් කරවීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහක් ඇතිවුණා. මෙම ඇතින්න අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අවස්ථාවේදීත් මෙසේ පෙරහැරට එක්කර තිබූ බවටයි එහිදී චෝදනා එල්ල වුණේ. එහි ප්‍රතිපලයක් වශයෙන් එම ඇතින්න පෙරහැර රාජකාරී වලින් ඉවත්කිරීමට බලධාරීන් විසින් කටයුතු කළා. නමුත් ටිකිරි සම්බන්ධ සියළු චෝදනා ප්‍රතිෂේප කරන හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ නිලධාරීන් පවසන්නේ ඇතින්න යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ අතර ඇතින්නගේ අයිතිකරු විසින් භාරයක් ඔප්පු කිරීම සඳහා පමණක් ඇය පෙරහැරට එක් කළ බවයි. ඒ අනුව පරිසර ක්‍රියාකාරීන්ගේ සහ හීලෑ අලි ඇතුන් හිමියන්ගේ එකිනෙකට පරස්පර ප්‍රකාශ කෙනෙකුට ප්‍රහේලිකාවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙවැනි බොරු ප්‍රකාශ නිකුත් කිරීමෙන් හෝ ටිකිරිගේ සිදුවීමට පමණක් ලඝු කිරීමෙන් යටපත්කල නොහැකි ටිකිරිලාගේ පරපුරේ ශෝකාන්තය පිළිබඳව අතීත තතු ස්වල්පයක් ගෙනහැරපෑම කාලෝචිතබව සිතනවා.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති ප්‍රකට විහාරස්ථාන සහ දේවාල වල වගේම පෞද්ගලික භාරකරුවන් යටතේ සිටින අලි ඇතුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් ගැටළු ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. වගේම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බලධාරීන්ගේ නිද්‍රාශීලී පිළිවෙත හමුවේ එවැනි අවාසනාවන්ත සිදුවීම් අනාගතයේදී සිදු නොවෙයි කියලා හිතන්නත් අපහසුයි. මේ ආකාරයට ගෘහාශ්‍රිතව රඳවාගෙන සිටින අලි ඇතුන්ගේ ආහාර හා පෝෂණය වගේම සෞඛ්‍ය හා සුබසාධනය සම්බන්ධව සොයාබැලීමට කිසිඳු නියාමන ආයතනයක් මැදිහත් නොවන වටපිටාවක මෙම අසරණ සතුන් මරව මරවා ඔවුන්ගේ ශ්‍රමය සූරා කමින් තම මඩිය තරකර ගැනීමට පටු අවස්ථාවාදීන් කටයුතු කරන්නේ අනුකම්පා විරහිතවයි. කුසට ප්‍රමාණවත් ආහාරයක්, ගතට අවශ්‍ය විවේකයක් වගේම රෝගාබාධ වලට සුදුසු ප්‍රතිකාර නොමැතිව මෙසේ අලි ඇතුන් දිවා රෑ වෙනසක් නොමැතිව තම ශ්‍රමය වගුරුවමින් හාම්පුතුන්ගේ මඩි තරකර අවසානයේ ඉතා අවාසනාවන්ත විදිහට අකාලයේ මරණයට පත්වෙනවා.

මින් පෙර පින්නවල අලි අනාථාගාරයෙන් කෝට්ටේ රජමහා විහාරයට ලබාදුන් ජය ශ‍්‍රී හෙවත්දිවුලා නමින් හැඳින්වූ අලියා 2010 සැප්තැම්බර් මස 9 වන දා මිය ගියේත් අධික ලෙස වැඩ ගැනීමේ හා නිසි පරිදි ආහාර හා ජලය ලබා නොදීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි. මේ සත්වයා ඉංගිරිය ප‍්‍රදේශයේ අධික ලෙස කොටන් ඇදීමේ රාජකාරිවලට යොදවා සිටි අතර නිසි පරිදි ආහාර ලබා නොදීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇත්ගොව්වන්ට පාලනය කර ගත නොහැකි තත්ත්වයට පත්වුණා. මේ හේතුව නිසා ම වයෝවෘද පුද්ගලයෙකුව 2010 අගෝස්තු මස 18 වනදා ජය ශ‍්‍රී විසින් මරා දැමුවා. ඊට පළිගැනීමක් වශයෙන් ඇත්ගොව්වන් හා මේ සතා ගෙන් වැඩගත් පුද්ගලයන් විසින් මෙම අසරණ හස්තියා ආහාර හා ජලය ලබා නොදී දින තුනක් එක ස්ථානයක බැඳ තැබීම හේතුවෙන් විජලනයවී එම සත්වයා අකාලයේ මරණයට පත්වූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා. මෙම විහාරස්ථානයට ලබාදුන් ලංකා නම් අලියාත් 2012 අපේ‍්‍රල් මස 13 වන මිය ගියේ අධික ලෙස වැඩ ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස හා හෙණ්ඩු පහරවලට ලක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස බව පරිසර ක්‍රියාකාරීන් අවධාරණය කළා. නමුත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ පශු වෛද්‍ය කණ්ඩායම මේ තත්ත්වය වසන්කර අලියා මිය ගියේ අකුණු සැර වැදීමකින් බව ප්‍රකාශකළා. එසේම මෙම විහාරස්ථානයේම සිටි රාජා නම් ඇතා මිය ගියේත් ඉංගිරිය ප‍්‍රදේශයේ කොටන් ඇදීම සඳහා ලොරියකින් ගෙන යමින් සිටිය දී ලොරි තට්ටුව කඩා වැටී දරුණු ලෙස තුවාල ලැබීම හේතුවෙන්.

පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටි සීදේවිනැමැති අසරණ හස්තියාත් 2014 ඔක්තෝබර් 17 දින අකාලයේ මරණයට පත් වන්නේ මෙවැනි අමානුෂික හිංසනයක ප්‍රතිපලයක් වශයෙන්. පාදයක හටගත් තුවාලයක් වණවී දැඩි ලෙස රෝගාතුරව සිටි මෙම අලියාට මෙවැනි අකල් මරණයක් අත්වීමට හේතුව එම සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග අවශ්‍ය අවස්ථාවේදී නොගැනීමයි.

ඒ වගේම විවිධ පුද්ගලයින් සහ විහාරස්ථාන භාරයේ සිටි කෙරමිණියේ ඇතා, වෑවලදෙණියේ ඇතා සහ කපිල අලියා වගේම දළදා මාලිගාවේ සිටි ඒකදන්ත නම් හස්තියා අකාලයේ මරණයට පත්වීම පිටුපසත් මෙවැනි ශෝකාන්ත සැඟවී ඇති බවයි දැනගන්න ලැබෙන්නේ. තවද දීර්ඝ කාලයක් තිස්සේ දම්වැලකින් ගැට ගසා තැබීමෙන් පාදයේ ඇති වූ තුවාල නිසා පීඩා විඳි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කළණ හස්තියා පිළිබඳවත් 2018 අවුරුද්දේ අග භාගයේ සාකච්ඡාවට බඳුන් වුණා. 2015 අවුරුද්දේ සිට දේවාල භූමියේ එකම ස්ථානයක ගැටගසා සිටිකළණඉදිරිපස දකුණු පාදය දම්වැලට කැපීමෙන් බරපතළ ලෙස තුවාල සිදුවීම නිසා දැඩි අපහසුතාවයට පත්ව සිටියා.

ඒ නිසා බොරු මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් හෝ ටිකිරිගේ සිදුවීමට පමණක් ලඝු කිරීමෙන් ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන්ගේ ශෝකාන්තය සඟවා තබන්න බැරි බව ඔවුන්ගේ ශ්‍රමය සූරා කන චිවරධාරීන්ට සහ තක්කඩි අලි හාමුලාට සිහිපත්කර දිය යුතුයි. ඒ වගේම මේ සත්ව හිංසනයන් පසුපස බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ අරක්ගත් උපාසක බළලුන්ද සිටිනබවත් නොකියාම බැහැ. නමුත් සත්ත්ව හිංසා වැළක්වීම, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණය හා පොදු දේපල ආදී විෂයයන් සම්බන්ධ අන පනත් වලින් තමන්ට ලැබී ඇති නීතිමය ප්‍රතිපාදන යොදාගනිමින් මෙවැනි හස්ති මරණ සහ හිංසනයන් වැලැක්වීමට ක්‍රියාකල යුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය තම රාජකාරි නිසි පරිදි ඉටු නොකරන තාක්කල් මෙම පාපතරයින්ගේ නරි නාටක අවසන් නොවන බවත් කණගාටුවෙන් නමුත් ලියා තැබිය යුතුයි.

Comments

Popular posts from this blog