සංරක්ෂණ සංග්‍රාමය


(2019 07 15 දින)
කවුරුන් බාධා කලත් පරිසරය වෙනුවෙන් ගත් තීන්දු තීරණ වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පහුගිය දවසක ප්‍රකාශකළා. පරිසරය රකින බව පවසමින් බලයට පැමිණි ඒ මහතා තම දේශපාලන වේදිකා වලත් නිතර නිතර පරිසරය ගැන කතා කලා. වැලි, ගල්, පස් සහ ගස් ජාවාරම මැඩලීම සඳහා තමන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු නිතරම ඉතා උනන්දුවෙන් කතා කලා. එබැවින් ඔහු මෙසේ පරිසරය වෙනුවෙන් කළ කී දෑ ගැන පසු විපරමක් කරමින් තවත් කරන්නට ඉතිරිවී ඇති යමක් වෙතොත් ඒ පිළිබඳවත් විමසා බැලීම කාලෝචිත බව හැඟුනේ නොකළ දෑ වෙතොත් ඒවා කරන්නටත් ටික කලක් ඔහුට ඉතිරිව ඇති නිසා.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුල පරිසර සංරක්ෂණයට වැඩි ඉඩක් ලැබී තිබුණා. රාජපක්ෂ පාලනය තුල විනාශ කෙරුණු මෙරට පරිසර සහ ස්වභාවික සම්පත්  ආරක්ෂාකරන බව තම මැතිවරණ වේදිකාවල ප්‍රතිඥා දුන් ඔහු ඒ සම්බන්ධයෙන් පරිසර ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත්කල යෝජනා මාලාවකටත් ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් තමන්ගේ එකඟතාවය පලකළා. නිසා අපේ රටේ ඉන්න ප්‍රකට පරිසර ක්‍රියාකාරීන් පවා ඔහුට තම සහයෝගය ලබාදෙන්න ඉදිරිපත් වුනා. ජනාධිපති මැතිවරණය ඔන්න මෙන්න තිබියදී ඔහුට සහය පළකරමින් පරිසර ක්‍රියාකාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකට මේ ලියුම්කරුත් සහභාගී වුනා. අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා අපේ රටේ හයවන විධායක ජනාධිපතිවරයා වශයෙන් බලයට පත්වුණා.

ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ඔහු පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතුකිරීමට උත්සාහ කලා. ඔහු අපේ රටේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් මෛත්‍රී පාලනය යටතේ දින සියය ඇතුලත ක්‍රියාවට නංවන්නට පොරොන්දුවූ ක්ෂණික සහන වැඩසටහන්මෙරට පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් සැබැවින්ම කාලීන වැදගත්කමකින් යුතු වුනා. ඒ වගේම ඉහත කී පරිසර ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත්කල යෝජනා මාලාවට ඇතුලත් යෝජනා 10 ත් ඉතාම වැදගත්.

සත්ව හිංසනය වැළක්වීම සඳහා නීති පැනවීම ඔහුගේ මූලික පොරොන්දුවක්. නමුත් තවමත් එය සිදුවී නැති බව මීට පෙර ලියුම්කරු පෙන්වා දුන්නා. අසරණ සතුන්ට දස වධදී මරා දමන අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමට ප්‍රමාණවත් තරම් නීතිමය ප්‍රතිපාදන නැති රටේ, 2016 ජනවාරි මාසයේ කැබිනට් අනුමැතිය ලැබුණු සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පතක් හමස් පෙට්ටියේ පුස්කන්නේ කාගේ වරදින්ද කියා සොයාබැලීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා.

අපේ රටේ විවිධ අන පනත් මගින් ආරක්ෂාවී ඇති පාරිසරික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශ ආරක්ෂා කරගැනීම හා ඒවායේ මායිම්වල සුරක්ෂිතබව පිළිබඳව වගබලා ගැනීමට පමණක් නොවෙයි ඉන් එහාට ගිහින් පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති ප්‍රදේශ තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවටත් ජනාධිපතිවරයා පොරොන්දු වුනා. ඒ යටතේ උතුරේ ස්වභාව රක්ෂිත සහ ජාතික උද්‍යාන කිහිපයක් ප්‍රකාශයට පත්කිරීම අගය කල යුතුයි. නමුත් ඒ අතර අපේ රටේ පාරිසරික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශ ගණනාවක් පසුගිය සමයේ විනාශකරීන්ගේ හස්තයන්ට නතුවූ බවත් කිවයුතියි. ඒ මතුද නොව දැනට හානි සිදුවී ඇති හෝ විනාශවීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගැනීමත් ඔහුගේ මැතිවරණ පොරොන්දුවක්.

සත්ව හා වෘක්ෂලතා ආඥා පනත නොබියව හා පක්ෂග්‍රාහී බැවින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා විසින් සපත කලා. ඒත් අඩු තරමින් අම්මලා මරලා කැලෙන් අල්ලාගෙන ඇවිත් අහුවුණු අලි පැටවුන් ටිකටවත් මේ දක්වා සාධාරණයක් ඉෂ්ඨවෙලා නැති බව කණගාටුවෙන් වුනත් ලියා තබන්න ඕනෑ. 2014 – 2015 කාලසීමාව තුල මෙසේ නීති විරෝධීව ජාවාරම් කල අලි පැටවුන් රැසක් අත්අඩංගුවට ගැනීම යහපත් ප්‍රවණතාවයක්. නමුත් මේ දක්වාම අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන් හිර දඬුවම් විඳිනවා විනා අලි හොරුන්ට සත්ව හා වෘක්ෂලතා ආඥා පනත නොබියව හා පක්ෂග්‍රාහී බැවින් තොරව දැඩි ලෙසක්‍රියාත්මක වුනාද කියන එක සැක සහිතයි.  

සංවර්ධන වැඩසටහන්වල සංකල්පිත අවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්ය කිරීමත් ජනාධිපතිවරයා දුන් ඉතා වැදගත් මැතිවරණ පොරොන්දුවක් වුනත් එය තවමත් අපේ රටේ පරිසර ප්‍රතිපත්ති සහ නීති රාමු වලට ඇතුලත්වෙලා නැති තරම්. බරපතල ලෙස දේශපාලනීකරණයට ලක්වූ පරිසර අධිකාරිය පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියෙන් පරිසර සංරක්ෂණය සඳහා අපේක්ෂිත දායකත්වය පවා පරිසරයට ලබදීමට අපොහොසත්වීම කණගාටුවට කරුණක්.

ජනාධිපතිවරයා පරිසර ඇමතිවරයා වීම යහපත් ප්‍රවණතාවයක් ලෙස මුලින් සිතුවත් ජනාධිපතිවරයෙකුගේ කාර්යබහුල දින චර්යාව තුල මෙවැනි සංකීර්ණ විෂය පථයක් සඳහා කොතරම් ඉඩක් වෙන්කළ හැකිද යන්න ප්‍රශ්නයක්. මෙරට පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය වගකීම් සහ යුතුකම් ගණනාවක් වර්තමාන ජනාධිපතිවරයාගේ අතින් මගහැරීමට එයත් හේතුවක් විය හැකියි. ඒ වගේම මහවැලි සංවර්ධන වැනි විෂය පථයක් සමග පරිසර සංරක්ෂණය එක් අමාත්‍යවරයෙකුට පැවරීමෙන් බැඳියාන් අතර ගැටුම් ඇතිවීම පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් යහපත් නොවන බව කිවයුතුයි.

අපගේ මාතෘභූමියට ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය උදාකිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 අවුරුද්දේ ගනු ලැබූ එඩිතර ඉතීන්දුවට ලියුම්කරුගේ ප්‍රණාමය හිමි වෙනවා. නමුත් මෙරට මිනිසුන්ගේ මෙන්ම වනජීවීන් හා ගහකොළ වලද අද දවසේ භාරකරුවා ලෙස මෙරට ස්වභාවික සම්පත්වල සුරක්ෂිත බව තහවුරු කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළ යුතු සහ කළ හැකි දෑ තවත් බොහෝ ඇති බවයි ලියුම්කරුගේ අදහස.

Comments

Popular posts from this blog