(අ)ස්වභාවික විපත්
(2019 09 30 දින)
පසුගිය දිනවල දිවයිනේ පළාත් කිහිපයකට පතිතවුණු අධික වර්ෂාපතනය සමග ඇතිවූ ගංවතුර, නාය යාම් සහ කණ්ඩි කඩා වැටීම් හේතුවෙන් ජන ජීවිතයට තර්ජන රැසක් අල්ලවුණා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්වී, ඔවුන් සමහරකට අවතැන් කඳවුරු වලත් කාලය ගතකරන්න සිදුවුණා. ඊට හේතුවූ වායුගෝලීය කැළඹිලි තත්ත්වය ක්‍රමයෙන් පහව ගිය නිසා අපට මේ වන විට යම් අස්වැසිල්ලක් ලැබී තිබුණත් යලි කුමන මොහොතක විපතක් එළැඹේදෝයි සිතමින් සියල්ලන්ටම ජීවත්වෙන්න සිද්ධවෙලා තියෙන්නේ අවිනිශ්චිත පරිසරයකය. ඒ වගේම බස්නාහිර, දකුණු හා සබරගමු පළාත්වලට දොරේ ගලායන්නට වැසි ලැබුණත් තවමත් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට අත්විඳින්නට සිදුවී ඇති නියඟයේ දරුණු බලපෑම් වලත් ඉවරයක් නැහැ.
දේශගුණ විපර්යාස හේතුවෙන් උත්සන්න වෙන ආන්තික කාළගුණ විපත් මගින් වැඩිම අවධානමට ලක්වූ රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පවතින බව Germanwatch ආයතනය විසින් පසුගිය අවුරුද්ද අගදී එළිදක්වන ලද ‘ගෝලීය දේශගුණ අවධානම් දර්ශකය - 2019’ (GLOBAL CLIMATE RISK INDEX – 2019) වාර්තාව මගින් අනාවරණය වුණා. 1998 සිට 2017 අවුරුද්ද දක්වා ලොව විවිධ රටවලට බලපෑ සුළිසුලං, ජලගැලීම්, නියං වැනි ආන්තික දේශගුණ විපත් මගින් සිදුවී ඇති බලපෑම අධ්‍යනය කිරීම මගින් තමයි මෙම දර්ශකය සකස්කරලා තියෙන්නේ. මීට පෙර ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ සිව් වැනි ස්ථානයේ පසුවූ අතර මේ වනවිට එයින් තවදුරටත් ඉදිරියට පැමිණ ලොව වැඩිම දේශගුණ අවධානමක් සහිත රටවල් අතර දෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්වී තිබීම බරපතල තත්වයක්. ඒ අතරම දේශගුණ විපර්යාස හේතුවෙන් උත්සන්නවන අයහපත් කාලගුණ තත්ත්ව නිසා මෙම මිහිතලය මත ජීවත්වීම 1970 දශකයට වඩා පස් ගුණයකින් අවධානම් සහගතවී ඇති බව මීට කාලෙකට කලින් වාර්තාවක් එළි දක්වමින් ලෝක කාලගුණ සංවිධානයත් ප්‍රකාශ කළා. නමුත් එසේ තිබියදී දේශගුණ විපර්යාසයේ හා එමගින් උත්සන්න වන ආන්තික කාලගුණ විපත්වල අහිතකර බලපෑමට මුහුණදීමට අවශ්‍ය නිසි ප්‍රතිපත්තිමය යොමුවක් හෝ ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් අපේ රටට තිබෙනවාද කියන එක ගැටළුවක්. මේ හේතුවෙන් දිනෙන් දිනම සංඛ්‍යාත්මකව ඉහළ යන, ඒවගේම එන්න එන්නම ප්‍රචණ්ඩ වන කාලගුණ විපත් හමුවේ විපිළිසරවීම හැර අපට ජාතියක් ලෙස සිදුකිරීමට වෙනත් කිසිවක් ඉතිරිව නොපැවතීම කණගාටුවට කරුණක්.
ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් වලින් ශ්‍රී ලංකාවේ අපට පසුගිය කෙටි කාල සීමාව තුලදී පවා නිරන්තරයෙන් අමිහිරි අත්දැකීම් ලැබීමට සිදුවූ බව නොරහසක්. මෙවැනි විපත් සාමාන්‍ය ව්‍යවහාරයේදී අප හඳුන්වන්නේ ස්වභාවික විපත් කියලා. නමුත් දේශගුණ විපර්යාසයන් උත්සන්න කිරීමට වගකිව යුත්තේ මිනිසුන් වන අපම බැවිනුත්, දිනෙන් දින ස්වභාවික විපත් සිදුවීම් ඉහළ යාමට දේශගුණ විපර්යාසය සෘජුව බලපා ඇති බැවිනුත්, තව දුරටත් මෙම විපත්, ස්වභාවික විපත් ලෙස හැඳින්වීම කිසිඳු අයුරකින් යුක්ති සහගත නැති බවයි ලියුම්කරුගේ අදහස.
දේශගුණ විපර්යාසය හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාම නිසා වායු ගෝලයට වාෂ්පීකරණය වන ජලය ප්‍රමාණය ඉහළ යන අතර එමගින් බරපතල කුණාටු හා සුළිසුලං ඇතිවීම සිදුවෙනවා. වායුගෝලයේ හා සාගර මතුපිට උෂ්ණත්වය ඉහළ යාම මගින් සුළං වේගය වැඩිවීම නිවර්තන සුළි කුණාටු වල විනාශකාරී බලය ඉහළ යාමට හේතුවී ඇති බවට මේ වන විට සාක්ෂි ලැබී තිබෙනවා. සුළිසුලං හා චණ්ඩමාරුත මගින් ලොව පුරා විවිධ රටවලට විශාල ආර්ථික බලපෑම් එල්ලකර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයට පවා බරපතලම ආර්ථික බලපෑම් එල්ලකරන ලද ස්වභාවික විපත් පහම සුළිසුලං බව කීවොත් බොහෝ දෙනෙකු විමතියට පත්වීමටත් බැරි නැහැ. මේ අතර පරිසර උෂ්ණත්වය ඉහළ යාම නියං ඇතිවීමටත් හේතුවී ඇති අතර මෑත ඉතිහාසයේ බලපෑ බිහිසුණුම නියං තත්වය හේතුවෙන් 1970 -1980 කාල සීමාව තුල නැගෙනහිර අප්‍රිකාවේ ලක්ෂ හයක ජනතාවක් මරණයට පත්වී තිබෙනවා.
මේ ආකාරයෙන් ලොව පුරා මෙන්ම අපේ රටේත් ඇතිවන බරපතල ව්‍යසනයන් හමුවේ ජනතාව අහසට දෑත් විහිදා සොබාදහමට ශාප කිරීම මින් ඉදිරියට පලක් වන්නේ නැති බව අප තරයේ සිහි තබා ගත යුතුයි. ඒ පෘථිවි ගෝලයේ දේශගුණ රටාව වෙනස් කර, දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට වැරදි කරුවන්ද අපම වන නිසා. එමගින් ඇතිවන විපත් අප විසින්ම කැඳවා ගත් අස්වාභාවික, කෘතීම විපත් විනා සොබාදහමේ සැහැසිකම් නොවන නිසා.
දේශගුණ විපර්යාස හේතුවෙන් ස්වභාවික විපත් ඇතිවීමේ සුලභතාවය වැඩිවී ඇතිවා වාගේම ඒවායේ විනාශකාරීත්වයද දිනෙන් දිනම ඉහළ යමින් පවතින බව පර්යේෂණ මගින් අනාවරණය කර තිබෙනවා. එමගින් මිනිසා ඇතුළු මුළුමහත් පෘථිවි ගෝලයටම එල්ලවන බලපෑම තව තවත් තීව්‍ර වනු මිස අඩුවීමක් නම් සිදු නොවනු ඇති.
දේශගුණ විපර්යාස මගින් උත්සන්න වන ස්වභාවික විපත්
හේතුවෙන් වර්ෂ 2020වන විට ලොව පුරා
බිලියන 1.3ක ජනතාවක් හා ඇමරිකන්
ඩොලර් ට්‍රිලියන 158ක වත්කම් අනතුරේ
වැටෙනු ඇති බවට ලෝක බැංකුවද අනතුරු අඟවනවා. ඒ අනුව පස් ගුණයක් අවධානම දරාගනිමින්
ඉදිරියටත් පෘථිවි ගෝලයේ ජීවත්වීමට අපට අවශ්‍යනම් අප විසින් වහ වහා දේශගුණ
විපර්යාසයන් පිටු දැකීමට කටයුතු කල යුතු අතරම ඒ සඳහා අනුහුරුවීමද අත්‍යාවශ්‍යයි. විපතක් සිදුවූ විට පමණක් කරළියට පැමිණෙන
ආපදා කළමනාකරණය වෙනුවට නිරන්තර අවදියෙන් සිටින තුන්කල් දැක්මක් සහිත ආපදා පෙර
සූදානම් ක්‍රමවේදයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයක්. ඒවගේම නාය යාම් සංවේදී ප්‍රදේශ, ගංගා නිම්න හා
පහත්බිම් වල භූමි පරිභෝජන රටාවද විපත් ඇතිවීම වලක්වන හෝ අවම කරන ආකාරයේ වීමත්
වැදගත්. කාලයාගේ ඇවෑමෙන්
ගංවතුර බැස ගිය විට සියල්ල මතකයෙන් මැකී යාමට ඉඩ නොදී මේ පිළිබඳව ගැඹුරින් කල්පනා
කිරීම හා ක්‍රියා කිරීම ඔබේත් මගේත් අනාගතය තීරණය කරනු ඇති.
Comments
Post a Comment