පහත්බිම් සහ තෙත්බිම්
(2019 05 06 දින)
‘පහත්’ කියන විශේෂණ පදය යොදලා විස්තර කරන ඕනෑම දෙයක් ගැන බොහෝ දෙනෙක්ට ඇතිවෙන්නේ සෘණාත්මක ආකල්පයක්. ‘තෙත්බිම්’ හඳුන්වන්න අපේ රටේ බොහෝ දෙනෙක් භාවිතාකරන ‘පහත් බිම්’ කියන වචනය සම්බන්ධයෙන් උනත් එහෙමයි. පහත් බිම් කියූ පමණින් බොහෝ දෙනෙක් හිතන්නේ ඒවා කසළ පිරවීමට, නැත්නම් ගොඩකරලා ගොඩනැගිලි - මංමාවත් ඉදිකිරීමට යොදාගතයුතු ඉඩම් මිස වෙනත් කිසිඳු වටිනාකමක් නැහැ කියලයි. නමුත් අපට සොබාදහමෙන් ලැබී ඇති ඉතාම වැදගත් පරිසර පද්ධති වර්ගයක් වන ‘තෙත්බිම්’ මගින් මිනිසා ඇතුළු සුවහසක් ගහකොළ සතා සිව්පාවාගේ පැවැත්මට ලබාදෙන දායකත්වය සැළකිල්ලට ගත්තහම අපි තවමත් ඒවා ‘පහත් බිම්’ ලෙස සලකන්නේ මන්ද කියන එක තමයි ප්‍රශ්නේ.
අන්තර්ජාතික වැදගත්කමක් සහිත රැම්සා තෙත්බිම් හයක්, ආසියානු තෙත්බිම් නාමාවලියට ඇතුලත් කෙරුණු තෙත්බිම් ගණනාවක් ඇතුළුව තෙත්බිම් රැසකින් ශ්‍රී ලංකාව සමන්විතයි. බුන්දල, ආනවිළුන්දාව, මාදුගඟ, වන්කාලෙයි, කුමන හා විල්පත්තු තෙත්බිම් අපේ රටේ පිහිටලා තියෙන අන්තර්ජාතික වැදගත්කමක් සහිත රැම්සා තෙත්බිම්. එමගින් ආවරණය වන මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 198,172. ඒ වගේම කොළඹ තෙත්බිම් නගරයක් විදිහටත් නම් කරන්න අන්තර්ජාතික රැම්සා සම්මුතිය මගින් කටයුතු කලත් ඒ බොහොමයක් තෙත්බිම් තියෙන්නේ අනාරක්ෂිත තත්ත්වයේ.
රාජ්‍ය හෝ පෞද්ගලික අංශ කියලා කිසිම භේදයක් නැතුව අපේ රටේ තෙත්බිම් සංහාරය දිගටම සිදුකෙරෙනවා. රාජ්‍ය අනුග්‍රහය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ තෙත්බිම් ගොඩකරන්න 1968 අංක 15 දරන පනත මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ (පහත් ඉඩම් ප්‍රදේශ) ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය ස්ථාපිත කෙරුණා. ඒ වෙද්දී ලෝකයා තෙත්බිම්වල වටිනාකම තේරුම් අරගෙන ඒවා සංරක්ෂණය කරගන්න සාකච්ඡා පවත්වනවා. 1971 අවුරුද්දේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සා නුවරට එක්රැස් වුනු ලෝක නායකයින් තෙත්බිම් සම්මුතියට අත්සන් තබනවා. ඒ අතර 1982 අංක 52 දරන පනත් සංශෝධනය මගින් කොළඹින් එහාට ගිහින් මුළු රටේම තෙත්බිම් ගොඩකරන්න ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පිහිටුවා ගන්නවා. කෙසේ නමුත් 1990 අවුරුද්දේ ඔක්තෝම්බර් 15 අන්තර්ජාතික තෙත්බිම් සම්මුතිය අපේ රටෙත් ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුණත් එමගින් අපේ රටේ තෙත්බිම් සංරක්ෂණයට හා නිවැරදි කළමනාකරණයට ප්‍රභල දායකත්වයක් ලැබිලා නැහැ.
වරක් ආනවිළුන්දාව රැම්සා තෙත්බිමට බලපෑම් එල්ලවෙන විදිහට කර්මාන්තශාලාවක් හදන්න වයඹ පළාත් පරිසර අධිකාරියෙන් අවසර දුන්නේ තෙත්බිම වගේම ඒ ප්‍රදේශයේ ජීවත්වුණු අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ ජීවිතත් කබලෙන් ලිපට විසිකරමින්. මේ විනාශය වළක්වන්න මේ ලියුම්කරු එම ප්‍රදේශයේ පාසැල් දරුවන් දැනුම්වත් කිරීම මගින් දරුවන් අතින් රටේ ජනාධිපතිට ලිපි ලියැවුණා. ‘අප වැනි කුඩා දරුවන්ටත් වැටහෙන දේ ජනාධිපතිතුමනි, ඔබට වැටහෙන්නේ නැද්ද ?’ කියලා ඒ අහිංසක දරුවෝ ඇහුවා. නමුත් උන්දෑට ඒ වගක් වැටහුනේ නැහැ මම හිතන්නේ. මේ රටේ ඉහළම තැන ඉඳන් පහළට ඉන්න දේශපාලකයින්ට තෙත්බිම් වල ඇති වටිනාකම වැටහෙන්නේ නැති බව තවත් හොඳටම පැහැදිළි වෙන්නේ රාජ්‍ය අනුග්‍රහය යටතේ මුතුරාජවෙල තෙත්බිමට සිදුකරන අතවර දැක්කාම. කොළඹ කුණු බැහැරකරන්න කසළ අංගනයක් හැදුවා මදිවට මුතුරාජවෙල අභයභූමියට අයිති ඉඩම් අක්කර සියයක් ස්වාභාවික ද්‍රව වායු බලාගාරයකට වෙන්කර දීමටත් කටයුතු කිරීමෙන් ඒ බව මොනවට පැහැදිළි වෙනවා. ඒ වගේම තෙත්බිම් ගොඩකරලා සුඛෝපභෝගී නගර හදලා ඒවායේ කෘතීම තෙත්බිම් හැදීමේ හාස්‍යජනක ව්‍යාපෘතිත් මේ රටේ ක්‍රියාත්මකවෙන්න නියමිතයි.
නමුත් තෙත්බිම්, පහත් බිම් ලෙස නොසලකා රැකගැනීමට හේතු අනන්තවත් තියෙනවා. තෙත් වැසි වනාන්තරයකට නොදෙවැනි ජෛව විවිධත්වය මොහොතකට පැත්තකින් තියමු. පාරිසරික වැදගත්කමට නොදෙවැනි ආර්ථික හා සමාජීය වටිනාකම් රැසක් තෙත්බිම් මගින් ජනතාවට ලැබෙනවා. ධීවර හා සංචාරක කර්මාන්තය මගින් මෙම තෙත්බිම් ආශ්‍රිත ප්‍රජාවට ජීවනෝපාය හිමිකර දෙනවා. නාගරික ප්‍රදේශවල වායුගෝලයේ ඇති අධික කාබන් ඩයොක්‌සයිඩ් වායු උරාගෙන වාතය පිරිසිදු කිරීම සඳහා වගේම නාගරික අප ජලයේ ඇති අහිතකර රසායනික ද්‍රවය ඉවත්කිරීම සඳහාත් තෙත්බිම් ඉතාම වැදගත් මෙහෙවරක් ඉටුකරනවා. තෙත්බිම් මිහිතලයේ ‘වකුගඩු’ කියලා හඳුන්වන්නේ ඒ නිසයි. ඒ වගේම පරිසර උෂ්ණත්වය පාලනය කරලා සිසිලස සලසන්නත් තෙත්බිම් වලින් විශාල මෙහෙවරක් ඉටු වෙනවා.
වර්තමානයේ අප මුහුණ දෙමින් සිටින ආපදා අවදානම අවම කරගැනීමට මහෝපකාරී වන ස්‌වාභාවික ආරක්‌ෂක පළිහක් හැටියටත් තෙත්බිම් සලකන්න පුළුවන්. වර්ෂාව මගින් එකතු වන මහා ජල කඳ අවශෝෂණය කරගෙන ගබඩා කරගන්න තෙත්බිම්වලට පුළුවන්. ඒ නිසා ගංවතුර අවදානම අඩු වෙනවා. ඒ වගේම නියං සමයේදී භූගත ජල සංචිතවල ගබඩා කරගෙන තියාගත්ත ජලය මුදාහැරීමෙන් ජල හිඟයට අස්වැසිල්ලක් සලසන්න තෙත්බිම්වලට පුළුවන්. 2017 අවුරුද්දේ ලෝක තෙත්බිම් දින තේමාව විදිහට ‘ආපදා අවදානම අවම කිරීම සඳහා තෙත්බිම්’ යන්න යොදාගත්තේ ඒ නිසා.
නමුත්
අපේ රටේ පාලකයින්ට තෙත්බිම් සංරක්ෂණය මතක්වෙන්නේ ලෝක තෙත්බිම් දිනය දවසට, පෙබරවාරි
දෙවෙන්දට විතරයි. එදාට කොහේ හරි තැනකට එකතුවෙලා ලොකු
උත්සවයක් පවත්වලා පුරාජේරු කියවලා නැවතත් පුරුදු පරිදිම තෙත්බිම් විනාශය දිගටම
කරගෙන යනවා. ඒවගේම තෙත්බිම්
අවට ඉන්න මිනිස්සුත් සුළුවෙන් හරි තමන්ට පුළු පුළුවන් විදිහට තෙත්බිම් ගොඩකිරීමට
දායකවෙනවා. හැබැයි වැඩි දවස් නොගිහින් උන්
හැමෝටම ‘වකුගඩු’ නැතුව
ජීවත්වීමේ අමාරුව තේරෙයි, ඒත් එතකොට අපි ප්‍රමාධ වැඩි
වෙන්න පුළුවන්.
Comments
Post a Comment