මුතුරාජවෙල

(2019 05 13 දින)


දිවයිනේ අගනුවරට තදාසන්නව පිහිටලා තියෙන මුතුරාජවෙල සහ මීගමු කලපු තෙත්බිම සමග ලියුම්කරුගේ බැඳීම ඇතිවෙලා දැන් දශකයකට ආසන්න කාලයක් ගෙවී ගිහින්. ඒ කාලසීමාව තුල මේ සොඳුරු තෙත්බිමේ අසිරිය සියැසින්ම දැකගන්නටත්, සංරක්ෂණය වෙනුවෙන් ප්‍රජාව දැනුම්වත් කරන්නටත්, පැවැත්මට තර්ජන එල්ලකළවුන්ට එරෙහිවීමටත් හැකිවීම සතුටට කරුණක්. නමුත් මේ රටේ ඉහළම තැන ඉඳන් පහළට ඉන්න පාලක කාරකාදීන් එකෙක්වත් තෙත්බිම් වල ඇති වටිනාකම වටහාගන්නට කිසිඳු උත්සාහයක් දරන්නේ නැති බවට තවමත් පට්ට ගහන උදාහරණය මුතුරාජවෙලම වීම ගැන ඇත්තේ වෛරයක්. එවැනි පසුබිමක් තුල අපේ රටේ අනෙකුත් තෙත්බිම් වගේම මුතුරාජවෙලත් මුහුණදෙමින් සිටින අවාසනාවන්ත ඉරණම කවදා කෙළවර වෙයිද කියලා හිතාගන්න අමාරුයි. තවමත් තෙත්බිම් පහත්බිම් ලෙස සලකන මුග්ධ දේශපාලුවන්, රාජ්‍ය නිලධාරීන්, බලවතුන් සහ ධනවතුන්ගේ පහත්ක්‍රියාකලාපයන් අපේ තෙත්බිම් උරුමයන් අතවරයට ලක්කරන ආකාරය ගැන පසුගිය සතියේ ()භයභූමියේ සිට ලිව්ව නිසා එහිම දිගුවක් හැටියට මුතුරාජවෙල ගැන ලියන්න හිතුවේ එකයි.

 

ඉස්සර කැළණි ගඟේ ඉඳලා මීගමු කලපුව දක්වා විශාල ප්‍රදේශයක විසිරිලා පැතිරිලා තිබුණු මුතුරාජවෙල තෙත්බිමෙන් අද ඉතිරිවෙලා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. ඒවගේම තාමත් මෙහි පැවැත්මට එල්ලවෙලා තියෙන තර්ජන වලත් නිමක් නැහැ. කසළ අංගන, විදුලි බලාගාර, කර්මාන්තශාලා, සුඛෝපභෝගී නගර හා විදුලි දුම්රිය මාර්ග හදන්න මුතුරාජවෙල තෙත්බිම කොම්පැණිකාරයන්ට ලියලා දුන්න ආණ්ඩුව ඊට එල්ලවූ ජනතා විරෝධය පාලනය කලේ මර්ධනය නීතිගතකරමින් ගැසට් නිවේදන පවා ගහලා. ඒ වගේම කිසිම අවහිරයකින් තොරව මුතුරාජවෙල තෙත්බිම ගොඩකරන, මේ අවට ඉන්න තක්කඩින්ට සහ මැරයන්ට වගේම උන්ට උඩගෙඩි දෙන පොලීසියේ සහ අනෙකුත් රාජ්‍ය ආයතන වල නිලධාරීන්ටත් මේ පාපයෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ.


එච්චර අතවර කරලත් තවමත් මුතුරාජවෙල තෙත්බිමේ සැඟවිලා තියෙන සොබාසිරිය වගේම එයින් ඉටුවන සේවාවනුත් පුදුම සහගතයි. හිමිදිරි උදෑසනක ඉර එළිය වැටිලා රිදී තැටියක් වාගේ බබළන මීගමු කලපුවේ නිසල ජල තලය, අවරගිරින් බැසයන හිරුගේ අවසන් ආලෝක කදම්බයන් අඳුරේ මැකී යද්දී මනරම් රටා මවන මුතුරාජවෙල වන ගැබට ඉහළ අහස් කුස, කලපු ගං මෝය සරසන කඩොලාන, නිදහසේ ඔබ මොබ සරන දේශීය සහ සංක්‍රමණික කුරුල්ලන් සහ අනෙකුත් වන ප්‍රාණීන් වගේම රාත්‍රී අන්ධකාරයේ සැඟවී විදුලි පන්දම් එළියට දෑස් දෙන මිහිමත වෙසෙන විශාලතම උරගයන් වන ගැට කිඹුලන් නෙතට ගෙන එන දසුනේ විචිත්‍රත්වය වචනයෙන් විස්තර කරන්න බැහැ. එකී මෙකී නොකී ආශ්චර්යමත් දෑ කොච්චර මුතුරාජවෙල තෙත්බිම එක්ක බැඳිලා තියෙනවද ? ඒ වගේම මිනිසුන්ටත් වැදගත්වෙන සේවාවන් කොච්චර මෙමගින් ඉටුවෙනවද ? ඒත් මුතුරාජවෙල සංරක්ෂණය කරගන්න කැපවියයුතු එකම දේශපාලකයෙක්වත්, රාජ්‍ය නිලධාරියෙක්වත් මේ අසිරිය නොදකින්නේ පිළී ගඳ ගහන සල්ලි නෝට්ටු වලට උන්ගේ ඇස් පොට්ටවෙලා හින්දද ?

 

මුතුරාජවෙල තෙත්බිමේ පැවැත්මට තර්ජනයක් එල්ලවිය හැකි සියළු අනර්ථකාරී මිනිස් ක්‍රියාකාරකම් ශ්‍රේෂ්ඨාධිකරණය වගේම රටේ ජනාධිපති විසිනුත් තහනම්කර තිබෙනවා. නමුත් එහෙම තියෙද්දිත් තුඩැල්ලේ මැරයෙක් පහුගිය දවසකත් තෙත්බිම් අක්කර ගණනාවක් ගොඩකලා. මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පවා පැමිණිලි කෙරුණත් පලක් වුනු බවක් පෙනෙන්න නැහැ. නමුත් ඊට විරෝධය දක්වපු මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානයේ අනිල් ලංකාපුර සහ දිනූෂ නානායක්කාර යන පරිසර ක්‍රියාකාරීන්ව බොරු චෝදනාවලට පටලවලා සිරගත කරන්න නම් පමුණුගම පොලීසියේ සමහරු දත කෑවා කියලා ආරංචියි. ඒ වගේම පහුගිය දවස්වල වැස්සත් එක්ක දෝරේ ගලාගිය මුතුරාජවෙල කසළ අංගනයේ අප ජලය මුතුරාජවෙල හරහා ගලා බසින හැමිල්ටන් ඇලේ වතුර විෂ කරලා කළු පැහැයට හරවලා දුර්ගන්ධය හැමතැනකම පතුරුවා හැරියා. අසරණ ජලජ ජීවීන් දසදහස් ගණනක් මියගිහින් වතුරේ උඩ පාවුනා. ඒත් කිසිම බලධාරියෙකුට මේගැන වගේ වගක් නැහැ.

 

පරිසරය රකින්න අපේ බදු මුදලෙන් නඩත්තුකරන රාජ්‍ය ආයතන බොහොමයක ඉන්න නිලධාරීන්ට තමන් වෙත පැවරිලා තියෙන වගකීම ඉටුකරන්න සැබෑ කැපවීමක් නැහැ. ඒ නිසා ඔවුන්ට පරිසර ක්‍රියාකාරීන් වහ කදුරු වාගේ. කලකට ඉස්සර මුතුරාජවෙල රැකගන්න ඇතැම් මැදිහත්වීම් සිදුකරද්දී ප්‍රදේශයේ ඇතැම් දේශපාලකයින් සහ නිලධාරීන් ලියුම්කරුට කිව්වේමුතුරාජවෙල ප්‍රකාශ්කියලා, නමගිය අපරාධකාරයෙක් වගේ. දැන් අනිල්ලා දිනූෂලාටත් එහෙමයි. නමුත් ශ්‍රී ලංකාවේ වාර්තා වන කඩොලාන ශාක විශේෂ 22න් 16ක් ඇතුළු කුල 66කට අයිති ශාක විශේෂ 194කට සහ කුල 42 කට අයත් පක්‌ෂි විශේෂ 102 ක්‌ ඇතුළු පෘෂ්ඨවංශීන් විශේෂ 232 කට නිවහන සපයන සොබාදහමේ මේ අමිල දායාදය රැකගන්න වෙර දැරීම වරදක්ද ? ජෛව විද්‍යාත්මක අගයට නොදෙවැනිව ධීවර කර්මාන්තය, කෘෂිකර්මය, සත්ව පාලනය, ප්‍රවාහන සේවා හා ප්‍රජා මූල සංචාරක කර්මාන්තය මගින් මුතුරාජවෙල හරහා ආශ්‍රිත ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභ අනාගත පරපුරටත් ඉතිරිකර තැබිය යුතු නැද්ද ?

 

රාජයන අභිමාණනීය වදනින් හඳුන්වන ප්‍රධානතම පරිසර කලාප දෙකක්‌ ශ්‍රී ලංකාවේ තියෙනවා. ඉන් එකක්‌ සිංහරාජය වන අතර අනෙක මුතුරාජවෙල. යුනෙස්‌කොව මගින් ලෝක උරුම සංරක්‌ෂිත වනාන්තරයක්‌ බවට පත් කිරීමෙන් පස්සේ සිංහරාජය යම් පමණක හෝ ආරක්‌ෂාවක්‌ ලබා තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමුද්‍රාසන්න තෙත්බිම් පරිසර පද්ධතිය වන මුතුරාජවෙල කවුරු කොහොම කිව්වත් අදටත් මුළුමනින්ම අනාරක්‌ෂිත බව කණගාටුවෙන් වුනත් ලියා තැබිය යුතුයි.

Comments

Popular posts from this blog