අලි අවනඩුව



(2019 03 11 දින)

දරු සෙනෙහස හැම සත්ව කොට්ඨාශයකටම පොදු දෙයක්. ඒකට මිනිසුන්ද සතා සිව්පාවාද කියලා වෙනසක් නැහැ. සමහර විට මනසින් උසස් යැයි කියන මිනිසුන් අතර නැති තරම් දරු සෙනෙහසක් සතුන් අතර තියෙනවා නේද කියලා හිතෙන තරමේ සංවේදී සිදුවීම් අපට අහන්න දකින්න ලැබෙනවා. දරු සෙනෙහස ගැන කියනකොට නිතැතින්ම සිහියට නැගෙන්නේ අලි ඇතුන්. අලි පැටියෙක් ඉපදුනාම රැලේ ඉන්න හැම ඇතින්නටම කිරි එරෙනවාකියලා ප්‍රකට කියමනක් තියෙනවා. එහෙම කියන්න හේතුව තමයි මාතෘමූලික අලි සමාජයේ පැටියෙක් ඉපදුනාම රැලේ ඉන්න හැම ගෑණු සතෙක්ම ඒ පැටියා රැකබලාගන්න උනන්දු වෙන එක. එහෙව් අලි රංචු වලින් අම්මලා මරලා පැටව් පැහැරගෙන රුපියල් කොටි ගණන් වලට විකුණන ජාවාරමක් කිසිඳු බාධාවක් නැතුව ධර්මද්වීපයක්කියාගන්න මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ රට කරවන ඉහළම තැන්වල ඉඳන් පහළට ඉන්න පාලක කාරකාදීන්ගේ සහ ධනවතුන්ගේ, බලවතුන්ගේ පිහිට ආරක්ෂාව මැද්දේ.

අවිහිංසාවේ ප්‍රතිමූර්ති වුනු බුදුහාමුදුරුවොත් දඩමීමා කරගෙන සල්ලිවලට වැදූ අම්මත් විකුණන හිතක් පපුවක් නැති ජඩ පාපතරයින් පිරිසක් විසින් මෙහෙයවන මේ අහස පොළොව නූහුලන අපරාධයට දේශපාලකයින්, චීවරධාරීන්, ව්‍යාපාරිකයින්, මහේස්ත්‍රාත්වරුන් වගේම වනජීවී දෙපාර්තමේන්තුවේ සුදුකරපටි හොරුත් සම්බන්ධයි. මින්නේරිය, උඩවලව, යාල වගේ වනජීවී රක්ෂිත වලින් අලි අම්මලා මරලා, එහෙමත් නැත්නම් එවැනි කෘර හා අමානුෂික ආකාරයෙන් පැටවුන් පැහැරගෙන, අඳුරු වීදුරු දාපු ඩිපෙන්ඩර් ජීප්රථ වල පටවාගෙන ඇවිත්, හොර බලපත්‍ර හදලා, රුපියල් කොටි ගණන් වලට වික්කා කියලා ආණ්ඩුවේ විගණකාධිපතිවරයාගේ විමර්ශන වලින් වගේම වනජීවී විශයභාර අමාත්‍යවරුන් විසින් පත්කළ කමිටු කිහිපයකිනුත් හෙළිදරව් වුනා.

පසුගිය අවුරුදු කිහිපය තුල මේ විදිහට පැහැරගෙන ආපු අලි පැටව් පනහකට වඩා හෙළිදරව්ව කරගන්නත්, බොහෝම අමාරුවෙන් මේ පව්කාරයින් නීතියේ රැහැනට හසු කරගෙන අධිකරණය ඉදිරියට ගෙන එන්නත් ජාතියේ පිනට බිහිවෙච්ච නිර්භීත වනජීවී නිලධාරීන් කිහිපදෙනෙක් සමත් වුණා. මේ අලි පැටව් වනජීවී දෙපාර්තමේන්තුව හා සත්වෝද්‍යානය භාරයට පත්කරලා දැන් අවුරුදු ගානක් සිර දඬුවම් විඳිනවා. එයාලට තමන්ගේ අම්මලා, නෑදෑ හිතවතුනුත් නැහැ, කැලේ කොලේ ජීවිතෙත් නැහැ. නමුත් මේ ජාවාරමට සම්බන්ධ අපරාධකාරයෝ නම් තාමත් නිදැල්ලේ.

මේ හොරකමට සම්බන්ධ බවට චෝදනා ලබලා හිටපු ප්‍රකට චීවරධාරියෙකුටත් පසුගිය දවසක නිදහස ලැබුණා. විත්තිකරු අලි පැටවා තම විහාරස්‌ථානයේ රඳවාගෙන හිටිය බවට සැක කළ හැකි කරුණු රැසක්‌ අධිකරණයට ඉදිරිපත්කලත් සාධාරණ සැකයෙන් ඔබ්බටකරුණු සනාථ කිරීමට පැමිණිලිකාර නීතිපතිවරයා අපොහොසත් වුනාලු. ඒ නිසා කවුදෝ කෙනෙක් අලි පැටියෙක්ව ආරාමයට ගෙනත්දාලකියන කතාව ගරු අධිකරණයට පිළිගන්න සිද්ධවෙන්නැති. අන්තිමේදී අලි පැටියට විතරයි ජීවිතාන්තය දක්වා හිර දඬුවම් හිමිවුනේ (වනජීවී භාරයට පත්කිරීම මගින්).

එසේම මේ සංවිධානාත්මක වනජීවී ජාවාරමේ මහා මොළකාරයා ලෙස සැලකෙන අලි රොෂාන්ඇතුළු හත්දෙනෙකුට එරෙහිව ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණයේ පවරා තිබූ නඩුත් පැත්තකට විසිකෙරුණේ අධිකරණ බලය ගැන ගැටළුවක් ඇති බව පවසමින්. ඒ නඩු ඇහුවත් එයිනුත් අලි පැටවුන්ට සාධාරණයක් වෙයි කියලා බැලූ බැල්මට පෙනෙන්න තිබුනේ නැහැ. දී කිරට බළල්ලුත් සාක්ෂි කියන්නා වාගේ නීතිපතිවරයාගේ සාක්ෂි ලැයිස්තුවේ මුල් හරියෙම හිටියේ වනජීවී දෙපාර්තමේන්තුවේ මුල් පුටුවේ ඉඳගෙන අලි ජාවාරමට කත් ඇද්දා කියලා අවස්ථා ගණනාවකදීම ඔප්පු වෙච්ච කම්බා හොරෙක්. ඒ වගේම එකෙක් දෙන්නෙක් නෙවෙයි සාක්ෂිකාරයෝ ලැයිස්තුව 29ක්, චෝදනා 24ක්. ඉතින් අලි හොරුන්ගේ අම්මලාගෙන්ම පේන අහ අහා සාක්ෂිකාරයෝ තොගයකුත් දමාගෙන රට පටලෝනකොට සාධාරණ සැකයෙන් ඔබ්බටකරුණු කාරණා ඔප්පුවෙයි කියලා හිතන්න තරම් අපේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද නීතිපති දෙපාර්තමේන්තුව හිතන් ඉන්නේ?

ඒ වගේම චෝදනා මහා ගොඩක් පැටලෙව්වම අලි හොරුන්ට හොඳට බැටේ හම්බෙයි කියලා ඔවුන් හිතුවත්, ඔය චෝදනා ඔක්කොම සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකරන්න පැමිණිලිකාර පාර්ශවයට බැරි වුනොත්? එතකොට විත්තිකාරයෝ කියයි නීතිපති සත්භාවයෙන් තොරව ද්වේශසහගතව පැමිණිලිකරුවන් අපහසුතාවයට පත්කරන්න කටයුතුකරලා කියලත්. එතකොට තවත් සැකයේ වාසිය ලැබෙන්නේ ජාවාරම්කරුවන්ටම නෙවෙයිද? එහෙම ගියානම් අලි රොෂාන්ටත් කැකිල්ලේ තීන්දුවක්ම  නොලැබෙයි කියලා කාටද කියන්න පුළුවන්? නීතියත් හෑල්ලුකරමින් නොදරුවෙක් වාගේ හැසිරෙන්නේ නැතුව දැන්වත් නීතිපති කරන්න ඕනේ අලි ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරපු වනජීවී මෙන්ම රහස් පොලිස් නිලධාරීනුත් එක මේසෙකට ගෙනැල්ල මේ අඩුපාඩු නිවැරදි කරගෙන නැවත නඩු මගට යෑම. එහෙම නොකලොත් ආයේ කිසිම දවසක මේ අපරාධකාරයින්ට දඬුවම් දෙනවා බොරු.

කවදා හරි දවසක මංකොල්ලකාරයෝ ඇවිත් අපේ දරු පැටව් පැහැරගෙන ගියොත් අපිට දැනෙන වේදනාවම නෙවෙයිද අපේ රටේ කැලෑවල බොහොම ආයාසයෙන් දිවි ගැටගහගෙන ඉන්න අලි පරපුරටත් මේ මොහොතේ දැනෙමින් තියෙන්නේ? අනේ ඉතින් මේ ඩිංග තේරුම් අරගෙන තමනුත් අලින්ගේ පැත්තේ හිටගන්න ඕනෑ කියල මේ ()භයභූමියේ ඉන්න හැමෝටම දැන්වත් හිතෙනවානම් !     

Comments

Popular posts from this blog