උණුසුම් සුසුම්
(2019 03 04 දින)
ශ්‍රී ලංකාවේ ජීවත්වෙන අපි අපේ රටේ ගහකොළ හා සතා සිව්පාවා ගැන උදම් අනන්නේ
‘අපේ රට ජෛවවිවිධත්ව උණුසුම් කේන්ද්‍රයක්’
යි කියමින්. ඒත් ජෛවවිවිධත්ව උණුසුම් කේන්ද්‍රයක්
හැටියට අපේ රට නම් කෙරෙන්නේ මේ
රමණීය දිවයිනේ වනපෙත්වල අපා දෙපා සිව්පා බහුපා සතුන් වගේම තුරු ලතා විශේෂ දස දහස් ගණනක් ජීවත්වෙන නිසාම කියලා
කවුරුහරි හිතනවානම් ඒක මුලාවක්. මේ සුවිශාල සොබා උරුමයන් සම්භාරය ඉතාම වේගයෙන් ලක් පොළොවෙන් සදහටම සමුගනිමින් තිබීමත් ‘උණුසුම් කේන්ද්‍රයක්’ ලෙස නම් කිරීමට එක් හේතුවක්. ඒ නිසා අපිට තවත් කටමැත දොඩවමින් කාලය
කා දමන්න ඉඩක් නැහැ.
අපි අපට සොබාදහමෙන් ලැබුණු මේ දායාදයන්
රැකගන්න රටක් - ජාතියක් හැටියට කඩිනමින් පියවර ගැනීම
අත්‍යාවශ්‍යයි.
සියළු ආකාරයේ සොබා උරුමයන් සුරක්ෂිතකිරීම
ගැන අපට තියෙන්නේ ලෝකයේ වෙන කිසිම රටකට නැති තරම් දිගු ඉතිහාසයක්. අපි ඊට අත්පොත් තියන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදී
මිහින්තලාව ලෝකයේ ප්‍රථම ‘අභයභූමිය’
ලෙස රාජ ආඥාවෙන් ප්‍රකාශයට පත්කරලා. ඇලේ දොළේ ජීවත්වෙන මාළුන්ගේ, අහසේ පියාඹන කුරුල්ලන්ගේ ඉඳලා සෑම සියළු ප්‍රානියෙක්ම රැකගැනීම රටේ
පාලකයාගේ වගකීම බවත් ඔහු රටේ ආරක්ෂකයා මිස අයිතිකරුවා නොවන බවත් පැවසූ අරහත් මිහිඳු
හිමියන්ගේ වදනින් තමයි මෙම අභයභූමි සංකල්පය බිහිවුනේ.
මිහින්තලාවෙන් පටන්ගෙන මේ මුළු දිවයිනම
අභයභූමියක්, එහෙමත් නැත්නම් බියෙන් තොරව ජීවත්වෙන්න
සුදුසු පරිසරයක් බවට පත්කරන්න අපේ රට පාලනය කරපු අතීත රජදරුවන් කටයුතුකලා. එතැනින් එහාට ගිහින්, වරක් හංගේරියාවේ ආණ්ඩුව හා මිනිස්සු
අතර ඇතිවූ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් 1997 අවුරුද්දේ ජාත්‍යන්තර අධිකරණයේ විභාගවූ
නඩුවකදීත් සී. ජී.
වීරමන්ත්‍රි
විනිශ්චයකාරවරයා හංගේරියානු ආණ්ඩුවට එරෙහිව තම නඩු
තීන්දුව දෙන්න අභයභූමි සංකල්පය පාදක කරගත්තා.
ඒ
වගේම 2000 අවුරුද්දේ එප්පාවල පොස්පේට් නිධිය පෞද්ගලීකරණය
කිරීමට එරෙහිව දුන්නු නඩු තීන්දුවේදීත් මේ සංකල්පය භාවිතාකලා.
දැනටත්
අපේ රටේ සැලකියුතු වනාන්තර වැස්මකුත් වන සතුන් විශේෂ ගණනාවකුත් ජීවත්වෙන්නේ තමන්
මේ රටේ ආරක්ෂකයින් මිස අයිතිකරුවන් නොවන බව සිතා මුළු රටම එකම අභයභූමියක් කල අතීත
පාලකයින්ට පිං සිද්ධවෙන්න.
අපි කොච්චර සුද්දට බැන්නත් උන්ගෙනුත් අපේ රටේ වනාන්තර හා වනජීවීන් සංරක්ෂණ
කිරීමට අවශ්‍ය අණ පනත් ඇතිකරන්න විශාල උදව්වක් ලැබුණා. වන සංරක්ෂණ, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ වගේම
සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත් ඊට කදිම උදාහරණ.
1907 අවුරුද්දේ
සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත නීතිගත කිරීමෙන් පස්සේ නැවත යාවත්කාලීන කරන්නවත් අපට
තාම බැරිවෙලා තියෙනවා. ඒ වෙනුවට නිදහසින් පස්සේ රට කරවපු තක්කඩි පාලකයින් කරලා තියෙන්නේ අපේ
අතීත මුතුන් මිත්තන් ආරක්ෂාකරපු රටේ ස්වභාවික සම්පත් උන්ගේ පෞද්ගලික බූදලයක් වාගේ උලාකෑම
විතරයි. ඒවා රකින්න පිහිටවපු රාජ්‍ය ආයතනවල නිලධාරීනුත් බහුතරයක් අගනුවර සීත කාමරවලට වෙලා මහජන මුදලින් සැප වින්ඳා
මිස සිදුවුනු විනාශයන් දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ.
පොදු
මහජනතාව විදිහට අපිත් එදිනෙදා ජීවිතේ ගැටගහගන්න මහන්සි ගත්තා මිසක් අප අවට පරිසරය, සතා සිව්පාවා,
හා
ස්වභාවික සම්පත්වලට එල්ලවෙලා තියෙන තර්ජන ගැන තැකීමක් කලේ නැහැ.
අම්මාලා මරලා අලි පැටවුන් පැහැරගත්ත පව්කාරයෝ තවමත් යහතින් ඉන්නේ, වනාන්තර ඉඩම් අක්කර දහස් ගණනක්
කාන්තාර කරපු දේශපාලුවන්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්තේ,
පරිසරය
රකින්න පොරොන්දුවෙලා බලයට ආපු උන්ම පරිසරය වනසන්නේ,
තෙත්බිම්
වලට කුණු පුරවනවට විරුද්ධවෙන ජනතාව දංගෙඩියට දක්කන්න නියෝග දෙන්නේ, ආණ්ඩුව විසින්ම ගහපු ගැසට් අකුලලා
තෙත්බිම් ඉඩම් උලා කන්න ඉඩ දෙන්නේ, අලි ඇතුන් වගේම අනෙක් සතුනුත් දහස්
ගණන් මරා දාන්නේ, ජාන සම්පත් කොල්ලකන්න කුරුමිණියෝ
හකරල්ලෝ පවා මරාගෙන යන්නේ ඒ නිසා.
එකී
මෙකී නොකී කාරණා නිසා අද වෙනකොට මේ අභයභූමියේ,
‘අ’
යන්න හැලිලා,
බයෙන්
තැතිගත් බිමක් ඉතිරිවෙලා. අපට ඇහෙන්නේ මරණ බියෙන් සලිතවුන ගහකොළ සතා සිව්පාවාගේ හදවත්වලින් නැගෙන ‘උණුසුම් සුසුම්’ විතරයි.
තමන්ට සිද්ධවෙන යම්කිසි අසාධාරණයක් හෝ අකටයුත්තක් සම්බන්ධයෙන් හඬ නගන්න, පාරට බැහැලා අරගල කරන්න මිනිස්සු, අපිට පුළුවන්. ඒත් තමන් වෙනුවෙන් හඬක් නගන්න බැරි වනසතුන්ගේ හා ගහකොළ වල ඉරණම ඔවුන්ට එල්ලවෙන අසාධාරණයක් හෝ අකටයුත්තක් මගින් නිහඬවම විසඳෙන්නේ ඉතා කෘර හා අමානුශික ආකාරයටයි. අප නිසි අවබෝධයෙන්, නිරන්තර අවධියෙන් නොසිටියොත් මේ අසරණ වනජීවීන්ටත් ගහකොළටත් ස්වභාවික උරුමයන්ටත් සිදුවී ඇති විනාශය වටහාගන්නකොට අපි බොහෝම ප්‍රමාධ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපි අපේ රටට සොබාදහමෙන් ලැබුණු අමිල දායාදයන් ආරක්ෂාකරගන්න, සංරක්ෂණයකරගන්න කැපවෙමු. මේ වෑයම හුදෙක්ම ඒ සඳහායි.
Comments
Post a Comment