දේශපාලන
අම්බරුවනේ අසාපන්!
(2022 03 01 දින)
ශ්‍රී ලංකාවේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ සහ වන සංරක්ෂණ ආඥා පනතේ බලතල යටතේ ප්‍රකාශයට පත්කරලා තියෙන රක්ෂිත ප්‍රදේශ වලට ගෘහාශ්‍රිත සතුන් ඇතුළු කිරීම එම අනපනත් මගින් සීමා කර තිබෙන්නේ ශක්තිමත් විද්‍යාත්මක පදනමක් මත පිහිටායි. නමුත් එම නීති ඉරා දමමින් ආණ්ඩුව අපේ රටේ පිහිටා තිබෙන වන හා වනජීවී රක්ෂිත ලෙස නම්කර ඇති සංවේදී පරිසර පද්ධතීන් තුලට ගවයින් ඇතුලත් කිරීමට අවසර ලබාදීමට සූදානමක් පවතින බවට චෝදනා එල්ල වෙනවා. මේ රට පාලනය කරන දේශපාලන අම්බරුවන්ගේ පසුගිය කල්ක්‍රියා දෙස හැරී බලන විට එවන් ගොං තීරණයක් ගැනීමට ඔවුන් පසුභට නොවෙතැයි හිතන්නට සාධාරණ හේතුවක් නැහැ. ඒ නිසා එවැනි අමනෝඥ තීරණයක් මගින් ඇතිවිය හැකි ඵලවිපාක පිළිබඳව කල් ඇතිව මතක්කර දීම වැදගත් කියලා ලියුම්කරුට හිතෙනවා.
ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිවෙලා තියෙන ඉතා වැදගත් සහ සංවේදී පරිසර පද්ධතීන් අතලොස්සත් විවිධ හේතු නිසා වැනසී යමින් පවතින බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. එවැනි පසුබිමක එම පරිසර පද්ධතීන් වලට හීලෑ ගවයින් ඇතුළු කිරීමට නීත්‍යානුකූලව ඉඩ ලබා දුන්නොත් දැනට සිදුවෙමින් පවතින විනාශය වේගවත් වීම නොවැලැක්විය හැකියි.
අපේ රටේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහනමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක අලි-මිනිස් ගැටුම ප්‍රධාන සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා. එමගින් දවසකට අඩු තරමින් එකෙකු බැගින්වත් අලි ඇතුන් මිය යනවා. අසරණ දුප්පත් ජනතාව සතියකට දෙතුන්දෙනා බැගින් මිය යනවා. මේ කියන ගැටුම් වලට දායක වන, ගම් වදින අලි ඇතුන්ට අමතරව විශාල අලි ඇතුන් ප්‍රමාණයක් ඔය කියන වනජීවී සහ වන රක්ෂිත තුල ජීවත් වෙනවා. මේ දේශපාලන අම්බරුවන්ගේ තීරණ නිසා හීලෑ ගවයන් එම රක්ෂිත වලට දැක්කීමට ඉඩ ලබා දුන්නොත් එසේ වනාන්තර තුල සිටින ගැටුම් ඇති නොකරන අලි ඇතුන්ටත් ආහාර හිඟ වෙනවා. එතකොට එම අලි ඇතුන්ට ගම් වැදී තමන්ගේ කුස පුරවා ගැනීම හැර වෙනත් විකල්පයක් තියෙනවද? මේ විදිහට ගම් වැදිලා ආහාර සොයාගන්න පෙළඹෙන්නේ පිරිමි අලින් පමණයි. හීලෑ ගවයින් තමන්ගේ අහර පත උලා කෑම නිසා ආහාර අහිමි වෙන ගැහැණු සතුන් සහ පැටවුන්ගේ ඉරණම කුමක් වෙයිද? ඔවුන්ට සිදුවන්නේ බඩගින්නේ මිය යාමට පමණයි. ඒ නිසා රක්ෂිත ප්‍රදේශ වලට හීලෑ ගවයන් ඇතුළු කිරීමට ඉඩ ලබාදීම අලි-මිනිස් ගැටුම් කළමනාකරණය සහ අලි ඇතුන් සංරක්ෂණය සමග කිසිසේත්ම පෑහෙන්නේ නැහැ.
ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහත්තයා 2020 ජූලි 22 වැනිදා පත්කළ ජනාධිපති කමිටුවක් මගින් සකස් කර මීට අවුරුද්දකටත් පෙර ඔහුට ඉදිරිපත් කෙරුණු ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ මගිනුත් රක්ෂිත ප්‍රදේශවලට ගවයින් ඇතුළු කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන මැදිහත්වීම හැකි ඉක්මණින් වැලැක්වීමේ වගකීම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පවරලා තියෙන්නේ එය ඒ තරම්ම වැදගත් නිසා. ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් වෙන්නේ “වන සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වලට අයත් රක්ෂිත ප්‍රදේශ වලට එළ ගවයින් සහ මී ගවයින් ඇතුළු කිරීම සුලභ තත්ත්වයක් බවට පත්ව ඇති අතර එමගින් ආහාර සඳහා තරඟයක් ඇතිවීම නිසා අලි ඇතුන් ඇතුළු අනෙකුත් ශාඛ භක්ෂක වනජීවීන්ට අහිතකර බලපෑම් එල්ලවේ. වර්තමාන තත්ත්ව යටතේ රක්ෂිත ප්‍රදේශ වලට ගවයින් ඇතුළු කිරීම නීති විරෝධී වන නමුත් සමහර අවස්ථාවල දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අදාළ නිලධාරීන් හට ඊට විරුද්ධව ක්‍රියාත්මක වීමේ හැකියාව සීමා වේ.” කියලයි.
කෙසේ නමුත් වනජීවී සහ වන සංරක්ෂණ නිලධාරීන් බොහොම ආයාසයෙන් තමන්ගේ පරිපාලනය යටතේ ඇති රක්ෂිත වලට හීලෑ ගවයන් ඇතුළු කිරීම පාලනයට කටයුතු කරන බව ලියුම්කරු දන්නවා. මෙච්චර කල් හීලෑ ගවයින් රක්ෂිත මායිම් වල විදුලි වැටවල් වල හිදැස් වලින් රහසේ තමයි බොහෝ වෙලාවට රක්ෂිත තුලට ඇතුළු කළේ. දැන් මේ අමනෝඥ දේශපාලන අම්බරුවන් උත්සාහ කරන්නේ පනත් වලින්ම ඒ සඳහා නීත්‍යානුකූල හිදැස් හදලා දෙන්නද?
අපේ රටේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන ආකර්ෂක වන්නේත් මේ කියන රක්ෂිත ප්‍රදේශ. ඒවා නරඹන්න බොහෝ දුර බැහැර රටවල් වල ඉඳලා සංචාරකයින් පැමිණෙන්නේ අපිට මේ දවස්වල බොහොම හිඟ වෙලා තියෙන විදේශ විනිමයත් අරගෙන. ඒත් මේ කිසිඳු දිගුකල් දැක්මක් නැති දේශපාලන අම්බරුවන් නිසා ඉදිරියේදී එම සංචාරකයින්ට නරඹන්න සිදුවන්නේ ජාතික උද්‍යාන වල උලාකන දහස් ගණනක් හීලෑ ගවයින් පමණක් විය හැකියි. මෙසේ හීලෑ ගවයින් ඉවක් බවක් නැතිව උලා කෑම නිසා වනාන්තර වල ආහාර හිඟ වීමෙන් ශාකභක්ෂක සතුන් වඳවී යනවා. එය ඔවුන් මත යැපෙන විලෝපිකයන්ටත් බලපානවා. එතකොට සංචාරකයින්ට නරඹන්න ඉතුරු වෙන්නේ කවුද? ඉතින් විදේශීය සංචාරකයින්ගේ විදේශීය විනිමය ප්‍රවාහය එසැනින්ම අහිමි වන බව මේ මුග්ධ පාලකයින්ට සහ උන්ගේ වන්දිභට්ට උපදේශකයින්ට තේරෙන්නේ නැතිද?
හීලෑ ගවයින් සමග ජාතික උද්‍යාන තුලට ඇතුළුවන පිටස්තර පුද්ගලයින් විවිධ වන අපරාධවල නිරතවූ අවස්ථාවන් රැසක් වනජීවී සහ වන සංරක්ෂණ නිලධාරීන් විසින් නීතියේ රැහැනට හසුකරගෙන තිබෙනවා. මේ ආකාරයෙන් පනත සිදුරුකර බලධාරීන් වනජීවී රක්ෂිත වල දොරටු විවර කර දෙන්නේ එවැනි වන අපරාධකරුවන්ට රිසිසේ ස්වභාවික සම්පත් බිලිගැනීමටද?
මෙවැනි තවත් විනාශයන් රැසකට මග පාදන හීලෑ ගවයින් රක්ෂිත ප්‍රදේශ වලට ගාල් කිරීමේ අදහසක් මේ රට කරවන දේශපාලන අම්බරුවන්ගේ තුන් හිතකවත් තියෙනවා නම් උන් ඔක්කොම විගහට ගහින් හිසකුඩිච්චි දාගන්නවා හොඳයි.
Comments
Post a Comment