තිත්ත
සීනි!
(2022 02 22 දින) © නයනජීව බණ්ඩාර
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්තමාන ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහත්තයා බලයට පත්වුණේ බහුතර සිංහල බෞද්ධ ඡන්ද වලින් කියලා ඒ මහත්තයාම විවිධ තැන්වල කියලා තියෙනවා. ඔහු බලයට ආපු අලුත කොල්ලෝ කුරුට්ටෝ තාප්පයක් තාප්පයක් නෑර ඇන්ද චිත්‍ර වලත් පෙනෙන්න තිබුණේ සිංහලකම, බෞද්ධකම, ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය, අධිරාජ්‍යවාදීන්ට එරෙහි නිදහස් සටන් ආදීය. නමුත් එහෙව් ජනාධිපතිවරයෙක්ගේ පාලන කාලය තුල ඌව වෙල්ලස්සේ පාරම්පරික ගැමි ජනතාවට තමන්ගේ ඉඩම් විදේශීය කොම්පැණිකරුවන්ගෙන් බේරාගැනීමට නැවතත් අරගල කරන්නට සිදුවීම දෛවයේ සරදමක්.
අම්පාර, මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක තුනට අයත් අක්කර 62500ක් තරම් විශාල භූමි ප්‍රමාණයක උක් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය සමාගමකට පවරන්න මේ වෙනකොට සියලු සැළසුම් සකස්කරලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි අදාළ උක් කර්මාන්තශාලාව ඉදි කිරීමට බිබිල සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ඇකිරියන්කුඹුර හා දෙහිගම කියන ග්‍රාම සේවා වසම් වල පවුල් 169ක් පමණ ජීවත්වූ පාරම්පරික වාසභූමි අක්කර 575 ක් අයි.එම්.එස්. හෝල්ඩින් පුද්ගලික සමාගමට හා සිංගප්පූරු ගැසෙල්වෙන්චස් (ඉන්දියානු හවුල්කාර) සමාගමට ලබා දීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන් ලහි ලහියේ කටයුතු සිදුවෙමින් පවතිනවා. පහුගිය දවස් වල ඒ සඳහා ගොවි ජනතාවගේ පාරම්පරික වගා බිම් වනසා දමමින් ගොවීන් පළවා හරින්න කටයුතු කෙරුණේ 1818, 1848 නිදහස් සටන් පරාජය කරන්න සුදු අධිරාජ්‍යවාදීන් අපේ මුතුන් මිත්තන්ගේ ගේ-දොර, ඉඩ-කඩම්, හරකා-බාන විනාශකරපු ආකාරය නැවත ප්‍රතිනිර්මාණය කරමින්.
බදුල්ල
දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද මිරිහන-දෙහිගම ප්‍රදේශය මුල්කර ගනිමින් අවුරුදු 17ක් තිස්සේ
ඇරඹීමට උත්සාහ කරන බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය මෙතෙක් අතරමග නැවති ඇත්තේ ඒ කෙරෙහි
පවතින මහජන විරෝධය නිසාමයි. 2006 අවුරුද්දේ එංගලන්ත බුකර්ටෙට් සමාගමත්, පසුව මෙරට අයි.එම්.එස්.
හෝල්ඩින් සමාගම සමග සම්බන්ධව තවත් විදේශීය සමාගමකුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට
උත්සහ කලත් එය අසාර්ථක වුණා. වර්ථමානයේ මේ ව්‍යාපෘතියට ආයෝජනය කිරීමට එකග වී ඇත්තේ
සිංගප්පූරුවේ සී/ස ගැසෙල්වෙන්චස් (Gazelle Ventures (Pvt)Ltd) නම් පෞද්ගලික සමාගම.
ඊට පහසුකමි සපයන මෙරට හවුල්කාර සමාගම වන්නේ අයි.එම්.එස්. හෝල්ඩිං සමාගමයි.
යෝජිත සීනි සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවිය හැකි පාරිසරික හානිය හා සමාජ බලපෑම ප්‍රථමයෙන් අනාවරණය කරන ලද්දේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් යෝජිත භූමිය පුරාවිද්‍යාත්මකව වැදගත් බව සාක්ෂි සහිතවම පෙන්වා දී තිබීම නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බාධා ඇති වුණා. මේ තත්ත්වය වළක්වන්න ආණ්ඩුව කළේ 1979 අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ 3(1) වගන්තිය ප්‍රකාරව අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය හා පදියතලාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 2000.05.04 දිනැති අංක 1130/13 දරණ ගැසට් පත්‍රය මගින් හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 2010.09.02 දිනැති අංක 1130/41 දරණ ගැසට් පත්‍රය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදවාගෙන මහවැලි බල ප්‍රදේශයක් ලෙස නම් කිරීම. අපේ රටේ ආණ්ඩු තමන්ට කන්න ඕනෑ වුණාම කබරගොයාත් තලගොයා කරගන්නේ එහෙමයි.
ඉන් පස්සේ ලියුම්කරු කලිනුත් කිව්වා වාගේ අතීත ශ්‍රී විභූතිය නැවත කැන්දන්න පොරොන්දු දීලා සිංහල බෞද්ධ ඡන්ද වලින් බලයට ආපු ආණ්ඩුව කළේ උසාවි නියෝග ලබාගෙන තමන්ගේ රටේ පාරම්පරික ජනතාව බල්ලෝ බළල්ලු ගානට ඔවුන්ගේ වාසභූමි වලින් එලවා දැමීමට කටයුතු කිරීම, ඔවුන් බොහොම ආයාසයෙන් වගාකරගත් බවභෝග ඩොසර් කිරීම.
“ගල්ඔය
ව්‍යාපාරය අපේ පරමිපරාව සී සීකඩ කලා
දැන්
බිබිල සීනි ව්‍යාපෘතිය අපිව පාරට ඇදලා දාන්න යනවා
අපි
මේ පොළොවේ මුල් උරැමක්කාරයෝ
අපේ
අක්මුල් තියෙන්නේ මේ මහා කැළයේ
අපිට
මේ කැළේ අතහරින්න බැහැ
ඒ
නිසා අපිට ආදරය කරන මිනිස්සුන්ට කියන්නේ
අපේ අරගලය එක්ක හිටගන්න!”
රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදාවන්නිලා ඇත්තන්ගේ ඒ වචන හදවතක් තියෙන ඕනෑම කෙනෙකුගේ ඒ හදවත් දැදුරු කරනවා. කාටවත් කරදරයක් නැතුව, බොහොම උපේක්ෂාවෙන් තමන්ගේ සරළ අල්පේච්ඡ ජීවිත ගැටගහගත්ත මේ මිනිස්සුන්ට අද අත්වෙලා තියෙන ඉරණම ආපස්සට හරවන්න හිතෙන්නැති කවුරුහරි මේ සමාජයේ ඉන්නවා නම් උන් මිනිස්සු වෙන්න බෑ. සුද්දාගෙන් රට මුදවා ගැනීමට එදා ඌව වෙල්ලස්සේ මිනිසුන් ආරම්භ කරපු අරගලයට මේ වෙනකොට අවුරුදු 200ක් සම්පූර්ණ වෙලා තියෙනවා. සුද්දා මේ වෙනකොට අපේ රට අතෑරලා ගිහින් තිබුණත් උන්ගේ අසාර්ථක සංවර්ධන මොඩලයන් කරපින්නාගෙන උන්ගේ පාරේම ගමන් කරන කළු සුද්දන්ගෙන් මේ ලක් පොළොව රැකගන්න අදටත් අරගලකරන්න අපට සිදුවීම කණගාටුවට කරුණක්. ඒ වගේම ඒ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් පුහුදුන් බුද්ධියක් තියෙන බහුතර ජනතාවක් මේ රටේ නොවීමත් අවාසනාවක්. එහෙව් රටේ මේ ඔලමොළ නිවටයන්ට මොළේ පෑදෙන්න ‘ඔය සීනි තිත්ත වෙයං!’ කියලා තමයි කියන්න ඉතුරුවෙලා තියෙන්නේ.
Comments
Post a Comment