වනජීවී මාර්ග බාධක


(2021 12 21 දින)

වනාන්තර සහ ස්වභාවික පරිසර පද්ධතීන් දෙබෑ කරමින් ඇදෙන මහා මාර්ග ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වයට එල්ලකරන බලපෑම සුළු පටු නැහැ. නමුත් මේ පිළිබඳව පාලක කාරකාදීන්ට වගේම පොදු ජනතාවට විශාල උනන්දුවක් නැහැ. අපේ රටේ ප්‍රකට ජාතික උද්‍යාන පවා කැබලිකරණය කරමින් මහා මාර්ග විශාල සංඛ්‍යාවක් ඇදී යනවා. ඒ මගින් දිවා රෑ භේදයක් නැතුව එම වනජීවී රක්ෂිත වලට සිදුවෙන බලපෑම අති විශාලයි. නමුත් එම බලපෑම් අවම කිරීමට ප්‍රයත්න දරනවා වෙනුවට බලධාරීන් සිදුකළේ තව තවත් ඒ විනාශය වැඩි කිරීම. මහජනතාව සඳහා එතෙක් වසා දමා තිබුණු හෝටන් තැන්න ජාතික උද්‍යානය හරහා දිවෙන පට්ටිපොළ - ඔහිය මාර්ගය පසුගිය සැප්තැම්බර් මස අගදී විවෘත කරන්න කටයුතු කෙරුණා. ඒ වගේම ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය හරහා මාර්ගයක් සංවර්ධනය කිරීමට කලක සිට කුප්‍රකට උත්සාහයක් දැරෙමින් පවතිනවා. නමුත් එවැනි පසුබිමක යාල වනජීවී රක්ෂිත සංකීර්ණය හරහා ඇදී යන බුත්තල - කතරගම මාර්ගය නිසා වනජීවීන්ට එල්ලවෙන බලපෑම් අවම කරන්න වනජීවී මාර්ග බාධකයක් යොදන්න වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කිරීම පැසසිය යුතුයි.

තිස් වසරක් පුරා පැවතුණු යුධ වාතාවරණය අවසන් වීමත් සමග බොහෝ දෙනෙකුට මාර්ග බාධක අමතකව යන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඉන් පසුව නැවතත් මාර්ග බාධක කරලියට ආවේ කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවුණු සංචරණ සීමාත් සමගයි. නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනජීවී අපරාධ වැලැක්වීමට ස්ථීර මාර්ග බාධකයක් ඉදිකළ ප්‍රථම අවස්ථාව මෙය විය හැකියි. ‘රජ මාවත’ ලෙස හැඳින්වෙන බුත්තල - කතරගම මාර්ගය බුත්තල දෙසින් යාල ජාතික උද්‍යානයට ඇතුළු වන ගෝනගංආර ප්‍රදේශයේ ඉදිකෙරුණු මෙම වනජීවී මාර්ග බාධකයේ රාජකාරී පසුගිය සිකුරාදා (17) දින නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඒ වගේම එම මාර්ගයේ කතරගම දෙසින් උද්‍යාන කෙළවරේ දැනටමත් ස්ථාපනය කර ඇති සෙල්ලකතරගම යුධ හමුදා මාර්ග බාධකයේ වනජීවී සංරක්ෂණ නිලධාරීන් රැඳවීම මගින් දෙපසින්ම ජාතික උද්‍යානයට ආරක්ෂාව ලබා දීමටයි සැලසුම්කර ඇත්තේ. ඌව වනජීවී කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්. ඒ. ඒ. ඩී. යූ. ඉන්ද්‍රජිත් මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වනජීවී මාර්ග බාධකය ඉදිකිරීමට විශාල කැපවීමකින් කටයුතු කළේ ගල්ගේ කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්. ජේ. කේ. හේරත් මහත්තයා ඇතුළු වනජීවී නිලධාරීන්.

ස්වභාවික පරිසර පද්ධතීන් හරහා සිදුකරන රේඛීය සංවර්ධන කටයුතු මගින් එම සොබා උරුමයන්ට සිදුවන සංකීර්ණ බලපෑම් ගැන අභයභූමියේ සිට අවස්ථා ගණනාවකදී ලියලා තියෙනවා. වනජීවීන් රිය අනතරු වලට ලක්ව මියයාම, වනජීවී වාසස්ථාන ඛණ්ඩනය වීම, වනජීවී ගහන ඛණ්ඩනය වීම, වනජීවීන්ගේ හැසිරීම් රටා වෙනස්වීම, ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ ව්‍යාප්තිය, අනවසර මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යාම, ජලවහනයට බාධා ඇතිවීම, කැලිකසල ප්‍රශ්න ඇතිවීම, ක්ෂුද්‍ර පරිසර පද්ධතිවල ජෛවරසායනික වෙනස්කම් ඇතිවීම, පරිසර දුෂණය එවැනි බලපෑම් කිහිපයක්.

ඔය කියන විශාල සහ සංකීර්ණ ජෛව-රසායනික සහ භෞතික බලපෑම් පාලනය කරන්න මාර්ග බාධකයකින් බැරි බව ඇත්ත. නමුත් පසුගිය කාලයේ මෙම මාර්ගයේ ගොස් විවිධ පුද්ගයලයින් විසින් ඉතා පහසුවෙන් වනජීවීන් දඩයම් කළ අවස්ථා ගණනාවක් වනජීවී නිලධාරීන්ට නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වුණා. මෙවැනි මාර්ග බාධකයක් මගින් එවැනි වනජීවී අපරාධකරුවන් මැඩලීම වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට හැකි වනු නොඅනුමානයි.

මින් පෙර මින්නේරිය ප්‍රදේශයේ තාවකාලික වනජීවී මාර්ග බාධකයක් යොදා වන අලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට රැක සිටි වනජීවී නිලධාරීන් සහ යුධ හමුදාව අතර ගැටුමක් ඇතිවූ ආකාරය අපට මතකයි. එතැනදී තමන්ගේ නිල බලයෙන් ඔළුව උදුම්මාගෙන මෝඩයෙකු වගේ හැසිරුණු පුද්ගලයා නොදැන සිටියත් ජාතික වනජීවී රක්ෂිත භූමිවලට යාබද මහා මාර්ගවල බාධක ඉදි කිරීමටත් වාහන සෝදිසි කිරීමටත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතේ 67 වගන්තියෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බලය පැවරී තිබෙනවා. මෙතෙක් කලක් නීති පොතට පමණක් සීමාවී තිබූ එම වගන්තිය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට ඉදිරිපත්වූ වනජීවී විෂය භාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර යන මහත්වරුන්ට ලියුම්කරු මේ මොහොතේ හිස නමනවා.

වනජීවී රක්ෂිත හරහා දිවෙන මාර්ග වලින් වනජීවීන්ට සිදුවන අගතිය සම්බන්ධයෙන් නව මානයකින් බලන්නට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙළඹීම සතුටට කරුණක්. මෙරට අනෙකුත් ජාතික උද්‍යාන හරහා දිවෙන මහා මාර්ග වලින් වනසතුන්ට එල්ලවන බලපෑම් අවමකිරීමටත් මේ ආකාරයෙන්ම අදාළ දෙපාර්තමේන්තුව කටයුතු කලොත් ලියුම්කරුගේ ඒ සතුට දෙගුණ තෙගුණ වෙයි.

ඒ වගේම එම මාර්ග වල ගමන් ගන්නා මෝටර් රථ වල ගැටී මියයන දහස් ගණනක් වනජීවීන්ගෙන් කොටසකගේ හෝ ජීවිත බේරා ගැනීමට සුදුසු වේගය සීමා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ක්‍රියාවට නැංවීමේ අභියෝගයත් මේ සමගම භාරගන්න කියලා වනජීවී රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර යන මහත්වරුන්ට ලියුම්කරු ආයාචනා කරනවා. 

Comments

Popular posts from this blog