අගල් ඇමැතිගේ ගොඩ
වෙදකං
මේ ආණ්ඩුවේ වනජීවී
රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ
පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විමලවීර
දිසානායක මහත්තයා. අලි - මිනිස් ගැටුම් කළමනාකරණය කියන පුළුල්, සංකීර්ණ සහ විද්‍යාත්මක
විෂය පථය අයිති වෙන්නේ ඔහුට. නමුත් ඔහුගේ දැනුම් තේරුම් පරාසය අනුව ඔහුගේ බුද්ධියට
ගෝචර වෙලා තියෙන්නේ ඔය කියන පුළුල්, සංකීර්ණ සහ විද්‍යාත්මක විෂය පථයෙන් ‘අලිවැට හා
අගල්’ විතරයි කිව්වත් වරදක් නැහැ. ඊට අමතරව ඒ පුහුදුන් මොළේට අලුත් දෙයක් කල්පනා වුණා
නම් ඒ ‘බැම්ම ගැහිල්ල’ තමයි.
ඔය කියන දැනුම්
තේරුම් පරාසයෙන් හිතලා ඔහු දැන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවමින් වන අලින්
ජීවත්වෙන ජාතික උද්‍යාන වටා අගල් හැරීමට බිංකුන්ඩෙකුට වඩා උනන්දුවකින් කටයුතු කරගෙන
යනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් අලි - මිනිස් ගැටුම් කළමනාකරණය කියන පුළුල්,
සංකීර්ණ සහ විද්‍යාත්මක විෂය පථය ගැන හාන් කවිසියක් නැතුව ‘ගොනා සේ’ ඇමැතිවරයාගේ උපදෙස්
අකුරටම ක්‍රියාත්මක කරනවා.
මෙච්චර කල් අපේ
රටේ අලි - මිනිස් ගැටුම් අවම කරන්න ඉදිකළේ අලි වැටවල්. එහෙම ඉදිකරපු අලි වැටවල් ප්‍රමාණයෙන්
ලංකාව වටේටම කීප සැරයක් වටකරන්න ප්‍රමාණවන්. නමුත් එයින් කිසිම පලක් නැති බවට අවුරුද්දෙන්
අවුරුද්ද ඉහළ යන අලි - මිනිස් ගැටුම විතරක් නොවෙයි, ඇමැතිතුමාත් සාක්ෂි දරනවා. ඒත්
මෙවැනි ඉදිකිරීම් වලින් තම මඩි තරකර ගන්න සමහර වනජීවී නිලධාරීනුත් සැදී පැහැදී ඉන්න
නිසා ඔවුන්ට අලි වැටවල් වල සාර්ථක - අසාර්ථකභාවය අදාලම නැහැ. ඔවුන් ඊට වඩා උනන්දු වෙන්නේ
තව තව අලි වැට ගහන්නම තමයි. ඔවුන්ගේ ඒ බලාපොරොත්තු මල්පල ගන්වමින් මේ අවුරුද්දේත් තවත් කිලෝමීටර් 1500ක් අලි වැටවල් ගහලා
මහා ජනතාවගේ මුදල් කාබාසිනියා කරන්න තමයි සැලැස්ම.
ඒ මදිවට තවත් කරල
පැහෙන වැඩක් තමයි අගල් කැපිල්ල. මේ ආණ්ඩුවට කොහොමත් වැලි - ගල් - පස් එක්ක බද්ධ ප්‍රේමයක්
තියෙන නිසා ඒ උනන්දුවත් අමුතු දෙයක් නෙවෙයි. විල්පත්තු ජාතික උද්‍යානයේ ස්වාරක්ෂක
කලාපයට මායිම්ව විලච්චිය සහ තන්තිරිමලේ ප්‍රදේශවලත් අලි - මිනිස් ගැටුම් අවම කිරීමට
මුවා වෙලා අලි වැටවල් වලට සමාන්තරව අගල් හෑරීමට පිඹුරු පත් සකස් වෙමින් පවතින බව දැනගැනීමට
ලැබී තිබෙනවා. අලි - මිනිස් ගැටුම් අවමකිරීම සහ වන අලි සංරක්ෂණය කියන කොයි පැත්තෙන්
බැලුවත් මෙවැනි කටයුත්තකට මුලපිරීම කිසිඳු
ආකාරයකින් වනජීවී සංරක්ෂණයේ මූලධර්ම වලට අනුකූල නැති බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ
බව දන්නා වනජීවී නිලධාරීන් සහ ප්‍රාදේශීය පරිපාලන නිලධාරීනුත් මේ කටයුත්ත සමග එකඟ නැති
බවයි දැනගැනීමට ලැබෙන්නේ. නමුත් ආණ්ඩුවේ අත්තනෝමතික හා අදූරදර්ශී ක්‍රියාකලාපයේ මෙම
දිගුව ශ්‍රී ලංකාවේ ප්‍රකට ජාතික උද්‍යාන වගේම වන අලි සම්පතේ ඉරණමත් තීරණය කිරීම කණගාටුවට
කරුණක්.
ශ්‍රී ලංකාවේ ජීවත්වෙන
වන අලි රංචු බොහොමයක් වනජීවී රක්ෂිත වගේම ඉන් බැහැර ප්‍රදේශත් වාසභූමි විදිහට යොදා
ගන්නවා. මේ විදිහට උද්‍යාන මායිම්වල බාධකයන් ඉදි කිරීම මගින් සිදුවන්නේ එම අලි රංචු
වලට තමන්ගේ වාසභූමි වල කොටස් අහිමි වීමයි. එවිට වනජීවී රක්ෂිත වලින් පිටත ඉන්න අලි
ඇතුන්ට ජනතාවගේ බවභෝග ආක්‍රමණය කරමින් තම අවශ්‍යතා සපුරා ගන්න නිතැතින්ම සිදුවෙනවා.
එමඟින් දැනටමත් බරපතල සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටලුවක් වෙලා තියෙන අලි -
මිනිස් ගැටුම තවදුරටත් උත්සන්න වීම අනිවාර්යයි.
මෙම අගල්
කැපීම සඳහා කොන්ත්‍රාත් ලබාදීමට නියමිතව ඇත්තේ ප්‍රදේශයේ වැලි සහ පස් කැපීමේ ජාවාරමේ
යෙදී සිටින පිරිස් වලට බවත් දැනගැනීමට ලැබී තිබෙනවා. එය එසේ නම් ඔවුන්ගේ ක්‍රියාකාරකම්
පාලනය කරන්නේ කවුද? නිසැකව ම
ඔවුන්ගේ අරමුණ වනු ඇත්තේ ඔවුන්ට හැකි තරම් වැලි සහ පස් ජාවාරම් කරගැනීම නොවෙයිද? ඒ
සඳහා අවසානයේ අගල්,
ආවාට බවට පත්කර හෝ තම මඩි තරකර ගැනීමට ඔවුන් කටයුතු නොකරතැයි කාට නම් විශ්වාසය තැබිය
හැකිද?
අලි - මිනිස් ගැටුමට
පිළියමක් ලෙස අගල් හෑරීම බොහෝ රටවල් වල වගේම ශ්‍රී ලංකාවෙත් අපේක්ෂිත සාර්ථකත්වය අත්කරගෙන
නැහැ. ඇමැතිවරයා කියන්නේ අපේ රටේ අලි - මිනිස් ගැටුම පණ්ඩුකාභය රජතුමාගේ කාලේ සිට පැවතුනු
බවයි. නමුත් එම ගැටුම් කළමනාකරණය සඳහා එතරම්ම පැරණි යල්පැන ගිය අසාර්ථක ක්‍රමවේදම යොදා
ගනීමයි ගැටලුව. ජලවහන මාර්ගවලට මෙවැනි අගල් මගින් අවහිරතා ඇතිවෙන නිසා එම ප්‍රදේශවල
ජලවහන පද්ධතියේ වෙනස්කම් සිදුවීමටත් මෙවැනි අගල් කැපීම නිතැතින්ම හේතු වෙනවා. ඒ වගේම
අගල් වල ජලය පිරීම නිසා මදුරු උවදුර උත්සන්න වෙන්න වගේම ජලය මගින් සිදුවන අනතුරු ඉහළ
යන්නත් හැකියාව තිබෙනවා. විශේෂයෙන් මෝසම් වර්ෂා රටාවක් පවතින රටවල සහ වනාන්තර
වාසභූමිවලින් මායිම්ව ඇති ස්ථානවල අගල් ඉදිකර පවත්වාගෙන යාමට ඉහළ නඩත්තු වියදමක් දැරීමට
සිදුවෙනවා. අමාත්‍යවරයා කියන ‘බැමි ගැහිල්ල’ ත් එහෙමයි. ‘බැමි’ කෙසේ වෙතත් ‘ගැහිල්ල’
නම් ජයටම කෙරෙයි.
සාමාන්‍යයෙන් මෙවැනි
දීර්ඝ කාලීනව බලපවත්නා පාරිසරික ප්‍රතිවිපාක ඇතිවීමට ඉඩ ඇති සංවර්ධන කටයුතු සිදුකිරීමට
ප්‍රථම ඒ සඳහා පාරිසරික බලපෑම් තක්සේරුවක් (EIA) සිදුකිරීම අත්‍යාවශ්‍ය වෙනවා.
එහෙත් දැනට පවතින නීතියට අනුව ස්වාරක්ෂක කලාප තුළ සිදු කෙරෙන එවැනි කටයුතු වලට
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කැමැත්ත ලබා දෙනවා නම් පාරිසරික
බලපෑම් තක්සේරු ක්‍රියාවලිය මග හරිමින් එවැනි විනාශයක් සිදුකිරීමට හැකියාව තිබෙනවා.
අතිගරු ජනාධිපතිතුමන්
විසින් පත් කරන ලද කමිටුවක් මඟින් සකස් කෙරුණු අලි - මිනිස් ගැටුම් අවම කිරීමේ
ජාතික ක්‍රියාකාරී සැලැස්මෙන් දැනටමත් යෝජනා කර ඇති ක්‍රියා මාර්ග මගින් වන අලි ප්‍රහාර
වලින් ජනතාව ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා. නමුත් ඒ ක්‍රියාකාරී සැලැස්ම
ජනාධිපති ලේකම් කාර්යාලයේ හමස් පෙට්ටියේ සඟවා තබලා එළැඹෙන 17 වැනිදාට අවුරුද්දක් පිරෙනවා.
ඒ එම ජාතික මට්ටමේ සැලැස්ම මගින් මෙවැනි පටු අවස්ථාවාදීන්ට ගොඩ වෙදකං කර තම මඩි
තරකර ගැනීමට ඉඩක් නොමැති නිසා වියු යුතුයි.
ඔවුන්ගේ මෙම අසීමාන්තික
කෑදරකම රටේ ජනතාවගේ මුදල්, දේපොළ වගේම ජීවිතත් උදුරාගනිද්දී පවා එම ජනතාව නිදා සිටීමයි
ජාතියේ අවාසනාව.
Comments
Post a Comment