ඔවුන් වෙනුවෙන් ඔබේ හඬ අවදි කරන්න!
ශ්‍රී ලංකාවේ වනාන්තර වල ජීවත්වෙන අලි ඇතුන්ට
උදාවෙලා තියෙන්නේ නරක කාලයක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. දවසට එකා දෙන්නා බැගින්
මිනිස්සු විවිධ ක්‍රම යොදලා මරා දමන අතර බොහොම ආයාසයෙන් පන නල රැකගෙන ඉන්න වනවාසී අලි
රංචු වල පුංචි දරු පැටවුන් අමානුෂික ආකාරයට පැහැරගෙන යෑමත් සුලභ සංසිද්ධියක් බවට පත්වෙලා.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන තැන් තුනෙන්ම අසන්න ලැබෙන්නේ අලි ඇතුන්ට සතුටුදායක
පුවත් නම් නොවෙයි. ඒ කෙසේ නමුත් තමන්ට එල්ලවන කරදර - දුක් - පීඩා ගැන හඬ නගලා කෑගහලා
කියන්න බැරි අලි ඇතුන් වෙනුවෙන් බොහෝ දෙනෙක් පහුගිය විසිතුන් වැනිදා කොළඹ, අළුත්කඩේ අධිකරණ පරිශ්‍රය ඉදිරිපිටට එක්රොක් වුණේ
ලියුම්කරුගේ හිතේ අලුත් බලපොරොත්තුවක් දල්වමින්.
දිවයිනේ විවිධ ප්‍රදේශවල වනාන්තර වලින් පැහැරගෙන,
ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරලා ජාවාරම් කරපු බවට සාක්ෂි සාධක තිබෙන අලි ඇතුන් තිස් අට
දෙනෙක් සම්බන්ධයෙන්ද අධිකරණ වල නඩු විභාග වෙමින් තිබුණා. එයින් අලි දරු පැටවුන් පිරිසක්
නැවතත් චූදිතයන් වෙතම ලබා දෙන්න මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයකින්ම ලැබුණු තීන්දු ආපස්සට
හරවන්න ගහකොළට සතා සිව්පාවාට ආදරයක කරන පිරිසක් අභියාචනාධිකරණයේ පිහිට පැතුවා. ඒ සම්බන්ධයෙන්
වැදගත් නඩු තීන්දුවක් ලැබෙයි කියන අපේක්ෂාවෙන් විශාල පිරිසක් පහුගිය නොවැම්බර් විසිතුන්
වැනිදා උදෑසනම කොළඹ, අළුත්කඩේ අධිකරණ පරිශ්‍රය
ඉදිරිපිටට එක්රොක් වුණා. ඒ හැම කෙනෙකුටම ලියුම්කරු තමන්ගේ හිස නමා ආචාර කරනවා.
කුඩා දරුවන්ගේ ඉඳලා තරුණ මහළු බොහෝ දෙනෙක් ගැහැණු-
පිරිමි භේදයක් නැතුව නිස්සරණාධ්‍යාශයෙන් එතැනට එක් රැස් වෙලා නිහඬ විරෝධයක් එල්ලකලේ
අලි ජාවාරම්කරුවන්ට වගේම උන්ට කත් අදින දුෂිත දේශපාලුවන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට.
“ජනාධිපති සීයේ, ඇයි මගේ නිදහස අහිමි කළේ?”
“ඔබලා ඇයි මගේ අම්මා මරලා දැම්මේ?”
“රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන අලි ජාවාරම නවතනු!”
“අලි ඇතුන් අයිති වනයටයි”
වැනි පාඨ සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන්
අරගල කළේ තමාගේ දුක ලොවට හඬගා කියන්නට නොහැකි අසරණ සතුන් වෙනුවෙන්.
ඇත්තටම ඒ මහා ලොකු සෙනගක් නොවෙයි. තක්කඩි දේශපාලුවන්ගේ
අරක්කු කාලට, බත් පැකට් ඒකට සහ තවත් සුළු සුළු වාසි ප්‍රයෝජන වලට ලක්ෂ ගණනින් පොදි
ගැහෙන මෝඩ මහා ජනතාව එක්ක බලනකොට මේ ප්‍රමාණය හරිම පුංචියි. නමුත් ඇන්.ජී.ඕ. කාරයෝ,
ඩොලර් කාක්කෝ, ආගමික අන්තවාදීන්, බෞද්ධ විරෝධීන් වගේ මෙකීනොකී අපහාස- උපහාස, තර්ජන-
ගර්ජන කොතෙකුත් තමන් වෙත නැගෙන බව දැන දැනත් අපේ සොබා උරුමයන් රැකගන්න පෙරට ආව ඒ පුංචි
ජන සමූහය ලියුම්කරුට මහා මෙරක්. ඇත්තෙන්ම ආණ්ඩු බලයට වත් යටපත් කරන්න බැරි වුණු ඒ ශක්තිමත්
හිත් පොකුර නොවෙන්න මේ රටේ අලි හොරු වනාන්තර වලින් මහා දවාලෙත් අම්මාවරුන් මරලා අලි
දරු පැටවුන් පැහැරගෙන යන්න ඉඩ තිබුණා.
නඩුව ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයට කල් ගියත්,
අධිකරණයේත් ඉන් පිටතත් මේ විදිහට ගහකොළට, සතා සිව්පාවාට ආදරණය කරන මිනිස්සු පොදි ගැහුණොත්
පාපතර අලි ජාවාරම්කරුවන්වත් උන්ව ආරක්ෂා කරන දුෂිත දේශපාලුවන් සහ රජයේ නිලධාරීන් වත්
පලවා හරින්න වැඩි කලක් යන එකක් නැහැ.
අම්මාවරුන් මරා පැහැරගත්
අලි දරු පැටවුන්ගේ වේදනාව ඔබටත් දැනෙනවාද?
එහෙනම් ඔබත් මේ ධෛර්යවන්ත මිනිස් පොදියට එකතු
වෙලා ඔවුන් වෙනුවෙන් ඔබේ හඬ අවදි කරන්න!
Comments
Post a Comment