මුතුරාජවෙල තෙත්බිම් සංරක්ෂණය තව දුරයි!

 


(2021 11 23 දින)

දිවයිනේ අගනුවර තදාසන්නව පිහිටලා තිබෙන මුතුරාජවෙල සහ මීගමු කලපු තෙත්බිම් පරිසර පද්ධතිය සංරක්ෂණය කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව පරිසරවේදීන් කරුණු දක්වන්නේ දශක ගණනාවක සිටයි. නමුත් මේ රටේ ඉහළම තැන සිට පහළට සිටින පාලක කාරකාදීන් කවුරුත් තෙත්බිම් වල ඇති සැබෑ වටිනාකම වටහාගැනීමට හෝ ඒවා සංරක්ෂණය කරගැනීමට කිසිඳු උත්සාහයක් නොදරන බවට තවමත් පට්ට ගසන උදාහරණයත් මුතුරාජවෙල සහ මීගමු කලපු තෙත්බිමමයි. එවැනි පසුබිමක් තුල අපේ රටේ අනෙකුත් තෙත්බිම් වගේම මුතුරාජවෙලත් මුහුණදෙමින් සිටින අවාසනාවන්ත ඉරණම කවදා කෙළවර වෙයිද කියන එක උභතෝකෝටිකයක්. තවමත් තෙත්බිම් පහත් බිම් ලෙස සලකන මුග්ධ දේශපාලුවන්, රාජ්‍ය නිලධාරීන්, බලවතුන් සහ ධනවතුන්ගේ පහත්ක්‍රියාකලාපයන් අපේ තෙත්බිම් උරුමයන් අතවරයට ලක්කරන ආකාරය අනුව සලකා බැලීමේදී මුතුරාජවෙල සංරක්ෂණය සඳහා බව කියමින් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහත්තයා පහුගිය දවසක නිකුත් කරපු අති විශේෂ ගැසට් පත්‍රය පිළිබඳවත් කුකුසක් ඇතිවීම විමතියට කරුණක් නොවෙයි.

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහත්තයා 1980 අංක 2 දරණ නාගරික සංවර්ධන ව්‍යාපෘති (විශේෂ විධිවිධාන) පනත මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව, නාගරික සංවර්ධන විෂයභාර අමාත්‍යවරයාගේ නිර්දේශ මත 2021 ඔක්තෝබර් 7 දිනැති අංක 2248/44 දරණ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුවේ මුතුරාජවෙල සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට බව පවසමින්.

“මුතුරාජවෙල වගුරු බිමට අයත් ඉඩම් කොටස් අනවසරයෙන් පිරවීම හා අල්ලා ගැනීම වළක්වාලමින් මුතුරාජවෙල පරිසර සංවේදී කලාපය සංරක්ෂණය, තිරසාර භාවිතය හා රැම්සා තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වහා අවශ්‍යව ඇති බව මාගේ මතය වන හෙයින්, එකී ඉඩම් අදාළ කාර්යය සඳහා අවශ්‍ය බව මෙම නියමයෙන් ප්‍රකාශයට පත් කරමි” කියලා ඒ ගැසට් පත්‍රයේ දක්වා තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉඩම් හෙක්ටයාර් 1926.6 ක්, කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉඩම් හෙක්ටයාර් 1974.6 ක්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉඩම් හෙක්ටයාර් 1433.3 ක් සහ ජා ඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉඩම් හෙක්ටයාර් 504.9 ක් වශයෙන් මුළු ඉඩම් හෙක්ටයාර් 5839.4 ක් සංරක්ෂණය, තිරසාර භාවිතය හා රැම්සා තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වහා අවශ්‍ය බව ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අතීතයේ කැළණි ගඟේ සිට මීගමු කලපුව දක්වා විශාල ප්‍රදේශයක විසිරී පැතිරී තිබූ මුතුරාජවෙල තෙත්බිමෙන් අද වනවිට ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. ඒ වගේම තවමත් මෙහි පැවැත්මට එල්ලවෙලා තියෙන තර්ජන වලත් නිමක් නැහැ. කසළ අංගන, විදුලි බලාගාර, කර්මාන්තශාලා, සුඛෝපභෝගී නගර හා විදුලි දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා මුතුරාජවෙල තෙත්බිම කොම්පැණිකාරයන්ට ලියා දුන්නු ආණ්ඩුව ඊට එල්ලවූ ජනතා විරෝධය පාලනය කලේ මර්ධනය නීතිගතකරමින් ගැසට් නිවේදන පවා ගසමින් බව අපට අමතක නැහැ. ඒ වගේම කිසිම අවහිරයකින් තොරව මුතුරාජවෙල තෙත්බිම ගොඩකරන, මේ අවට සිටින තක්කඩින්ට සහ මැරයන්ට වගේම උන්ට උඩගෙඩි දෙන පොලීසියේ සහ අනෙක් රාජ්‍ය ආයතන වල නිලධාරීන්ටත් මුතුරාජවෙල තෙත්බිම කෙලෙසීමේ පාපයෙන් ගැලවීමට පුළුවන්කමක් නැහැ.

අන්තර්ජාතික වැදගත්කමක් සහිත රැම්සා තෙත්බිම් හයක්, ආසියානු තෙත්බිම් නාමාවලියට ඇතුලත් කෙරුණු තෙත්බිම් ගණනාවක් ඇතුළුව තෙත්බිම් රැසකින් ශ්‍රී ලංකාව සමන්විතයි. බුන්දල, ආනවිළුන්දාව, මාදුගඟ, වන්කාලෙයි, කුමන හා විල්පත්තු තෙත්බිම් අපේ රටේ පිහිටා ඇති අන්තර්ජාතික වැදගත්කමක් සහිත රැම්සා තෙත්බිම්. එමගින් ආවරණය වන මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 198,172 ක්. ඒවා සියල්ලක්ම පරිපාලනය වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ. ඒ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් පැවරී ඇති නීතිමය ප්‍රතිපාදන අනුව. මුතුරාජවෙල තෙත්බිම් පරිසර පද්ධතියේ කොටසකුත් මේ වන විට වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කෙරුණු අභයභූමියක්. එම අභයභූමියට අයත් සියලු ඉඩම් ජනාධිපතිවරයා විසින් නිකුත්කර ඇති ඉහත සඳහන් අති විශේෂ ගැසට් පත්‍රයට යටත්. ශ්‍රී ලංකාවේ දැනට ඇති සියලුම රැම්සා තෙත්බිම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සංරක්ෂණය වෙද්දී, මුතුරාජවෙල රැම්සා තෙත්බිමක් බවට පත්කිරීම සඳහා පමණක් ‘නාගරික සංවර්ධනය’ යටතට ගෙන ඒමට ඇති විශේෂ අවශ්‍යතාවය ප්‍රහේලිකාවක්.

එසේම කොළඹ අගනගරය තෙත්බිම් නගරයක් ලෙස නම් කිරීමට අන්තර්ජාතික රැම්සා සම්මුතිය මගින් කටයුතු කල පසු එහි තෙත්බිම් සංරක්ෂණය කිරීම සඳහා සකස් කෙරුණු උපායමාර්ගික සැලැස්ම විවිධ රාජ්‍ය ආයතන වලට හුවමාරුවී අවසානයේ නතර වුණේත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේම තමයි. මුතුරාජවෙල සංවේදී තෙත්බිම් නාගරික සංවර්ධන ව්‍යාපෘති (විශේෂ විධිවිධාන) පනත යටතේ ගැසට් කිරීම පිළිබඳව පරිසරය ගැන උනන්දුවක් දක්වන සෑම සියලු දෙනා සැක සංකා මතුකරන්නේ ඒ නිසා.

මුතුරාජවෙල තෙත්බිමේ පැවැත්මට තර්ජනයක් එල්ලවිය හැකි සියළු අනර්ථකාරී මිනිස් ක්‍රියාකාරකම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගේම රටේ ජනාධිපති විසිනුත් මින් පෙරත් තහනම්කර තිබෙනවා. නමුත් එසේ තිබියදී පවා තෙත්බිම් සංහාරය අඩු වැඩි වශයෙන් මේ දක්වා සිදුවෙමින් පවතිනවා. එබැවින් මුතුරාජවෙල සහ මීගමු කලපු තෙත්බිම සංරක්ෂණය කිරීමට සැබෑ අවශ්‍යතාවයක් පාලකයින්ට ඇත්නම් ඔවුන් කලයුත්තේ ගැසට් පඩංගු ගසමින් කල් මැරීම නොවෙයි. ඒ සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමයි. මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය කරගනිමින් එහි ප්‍රතිලාභ තිරසාර ආකාරයෙන් රටටත් ජනතාවටත් ලබාගන්න හැකි වන්නේ එවිටයි. නමුත් එම අත්‍යාවශ්‍ය යාන්ත්‍රණය ජනාධිපතිවරයාගේ නව ගැසට් නිවේදනය තුළින් උපුටා ගැනීම උගහට බව කණගාටුවෙන් වුවත් පැවසිය යුතුයි.

Comments

Popular posts from this blog