අහස පොළොව උහුලයිද මේ අපරාධ?
උඩවලව ජාතික උද්‍යානයෙන් තවත් අලි පැටියෙක් පැහැර ගැනීමට දැරූ තැතක් පසුගිය බදාදා (10) රාත්‍රියේ ව්‍යර්ථ වුණේ අන්තිම මොහොතේ. ඒ දියතලාව පළවෙනි ගැමුණු හේවා බලඇණිය මගින් උද්‍යානය තුල සිදුකළ මුර සංචාරයක් අතර තුර අහම්බයකින්. පසුව උඩවලව ජාතික උද්‍යානයේ භාරකාරතුමත් ඊට මැදිහත්වී අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවණට යොමු කිරීම කටයුතු කළා. නමුත් එය කිසිසේත්ම හුදෙකලා සිදුවීමක් නම් නොවෙයි. අපේ රටේ පරිසර සංරක්ෂනවේදීන් පුන පුනා කියපු විදිහට මෙරට වනාන්තර වලින් අම්මාවරුන් මරලා අලි දරු පැටවුන් පැහැරගෙන යාමේ මහා වනජීවී අපරාධය අලුත් වටයකින් ආරම්භවී ඇති බවට ශක්තිමත් සාක්ෂියක්. මේ නීච සහ පාදඩ ජාවාරම්කරුවන් නිසා තව දුරටත් දරු පැටවුන්ට අම්මලාත්, අම්මලාට දරු පැටවුනුත් අහිමි වන බවට ප්‍රභල සාක්ෂියක්.
මෙසේ පැහැරගැනීමට උත්සාහ කර තිබුණේ මීට කලකට පෙර අම්මා අහිමි වීම නිසා උඩවලව ඇත් අතුරු සෙවණේ හැදී වැඩී නැවත වනයට මුදා හැරුණු අලි පැටවෙකු බව මේ වන විට අනාවරණය වෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අම්මා මරා දැමීමට අවශ්‍යතාවයක් ජාවාරම්කරුවන්ට ඇති වෙන්න නැතිව ඇති. නමුත් මෙරට වනජීවී අපරාධකරුවන් වන අලි ඇල්ලීම සඳහා නිර්වින්දනය වැනි දියුණු ක්‍රම භාවිතා කරන බවට මෙම සිදුවීමෙනුත් යළිත් තහවුරු වෙනවා.
මේ ආකාරයෙන් වනයෙන් පැහැරගත් අලි පැටවුන් ව්‍යාජ ලියාපදිංචි ලේඛන සකස්කරලා, තමන්ගේ තත්ත්වය පිළිබඳව හීනමානයෙන් පෙළෙන පැලැන්තියක අගුපිල් වල සිරකරගෙන ඉන්නකොට අල්ලලා නඩු දාන්න වනජීවී නිලධාරීන් මීට කලකට පෙර කටයුතු කළ ආකාරය රහසක් නොවෙයි. ඒ අවධියේදීම එසේ ජාවාරම් කිරීම සඳහා වනාන්තර වල ගැට ගසා සිටි අලි පැටවුන්, උඩවලවේ සිදුවීමේදී මෙන්ම අනාවරණය කරගැනීමටත් හැකියාව ලැබුණා. ඒ විදිහට බැඳ දමා සිටි කුඩා අලි පැටවෙක් මීට අවුරුදු කිහිපයකට පෙර උඩවලව ජාතික උද්‍යානයේ මේ ඉසව්වෙන්ම සොයාගන්න ලැබුණා. නමුත් පසුව වැටහුණා නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ කියලා.
ශ්‍රී ලංකාවේ බහුතරයක් මිනිස්සු මේ අහස පොළොව නූහුලන වනජීවී අපරාධය දකින්නේ පුණ්‍යකර්මයක් හැටියට. පවක් පිනක් හැටියට දකින්න තරම් අපේ රටේ මිනිස්සු මෝඩද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ඒකට පොදු ජනතාවටම දොස් කියලා වැඩක් නැහැ. මොකද මේ මහා පරිමාණ වනජීවී ජාවාරමේ කොටස් කරුවන් විසින් එම මතවාදයෙන් ජනතාවගේ ඔළුගෙඩි පුරවන්න උපායමාර්ගිකව කටයුතු කරන නිසා. මේ රටේ මුල් පුටුවේ සිට පහළට විවිධ තල වල සිටින දේශපාලකයින්, ප්‍රකට චීවරධාරීන්, ව්‍යාපාරිකයින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන්, මහේස්ත්‍රාත්වරුන්, පශුවෛද්‍යවරුන් ආදී විශාල පිරිසකගෙන් සමන්විත දුෂිත වළල්ලක් මේ වන අලි ජාවාරම්කරුවන් සමග බැඳී සිටිනවා. මෙම වනජීවී ජාවාරම සාධාරණීකරණය වන සහ තව දුරටත් වෙළඳපොළ පුළුල් වන ආකාරයේ සාමාජීය, සංස්කෘතික හා දේශපාලනික පරිසරයක් නිර්මාණය කරන්නේ ඔවුන්.
අධිකරණයත් නොමග යවමින් අම්මාවරුන් මරා දරු පැටවුන් පැහැරගන්නා පාපතරයන් වෙනුවෙන් මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති පෙනී සිටිනවාද යන සැකය මේ වනවිට විනිසුරුවන් තුලම මතුවෙලා. මහා ජනතාවගේ බදු මුදලෙන් යැපෙන එම දෙපාර්තමේන්තු ජනතාවට අයත් පොදු දේපොළ දූෂිතයින් පිරිසකට අත්පත්කර ගැනීමට ඉඩදී බලා සිටින එම දූෂිත වළල්ලේ අතකොළුවක් බවට පත්වෙලා. ඒ නිවට දෙබෑයන් කොළඹ, මාතලේ වගේම පැල්මඩුල්ල අධිකරණ වලදීත් කටයුතු කළේ ඒ ආකාරයට තමයි. හොර බඩු හොරුන්ටම නැවත ලබාදී එම හොර බඩු නීතිගත කරන්න අවශ්‍ය පසුබිමත් ව්‍යවස්ථාදායකය විසින්ම සකස්කර දෙනවා නම් එහෙම රටක් මෙවන් අපරාධ එළිපිටම සිදුවන යුගයකට ගමන් කිරීම විමතියට කරුණක්ද?
ජාවාරම්කරුවන් කොතරම් ප්‍රභලද කියනවා නම් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකා යොමුවෙන්නේ උන්ට අවශ්‍ය විදිහට. අමාත්‍යාංශ වලින් නීති රෙගුලාසි සකස්කර ගැසට් නිවේදන නිකුත් වෙන්නේ උන්ට අවශ්‍ය විදිහට. එම නියෝග පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ උන්ට අවශ්‍ය විදිහට. අධිකරණ වල යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අවශ්‍ය සාක්ෂි සාධක ගොනු වෙන්නේ උන්ට අවශ්‍ය විදිහට. පොදු ජන විඥානය මෙහෙයැවෙන්නේ උන්ට අවශ්‍ය විදිහට. මේ හැම දෙකින්ම වෙන්නේ අපි ජීවත්වෙන අභයභූමියේ ‘අ’ යන්න ගැලවී ගොස් බියෙන් තැතිගත් දේශයක් ඉතිරිවීම පමණයි. එම බිය මේ මොහොතේ දැනෙන්නේ වන සතුන්ට පමණක් වන්නට පුළුවන්. නමුත් මිනිසුන් වන අපි මේ මොහොතේ මුනිවත රැක්කොත් ඒ භීතිය නොබෝ දිනකින්ම අපේ හදවත් පවා වේලාගන්නවා සත්තයි. නමුත් පොදු ජනතාව තවමත් සිටින්නේ මේ සරළ යථාර්ථය තේරම් ගැනීමට නොහැකි ගැඹුරු නින්දකයි.
ඉතින් යුක්තිය, සාධාරණත්වය, නීතියේ ආධිපත්‍යය වචන වලට පමණක් සීමාවී
ඇති අපරාධ රාජ්‍යක, පොදු ජනතාව නිදා වැටෙන සමාජ දේහයක, අහසට දෑත් දිගුකර හෙන
ඉල්ලනවා ඇරෙන්නට මේ මොහොතේ කලහැකි අන් කිසිවක් ඉතිරිවෙලා තියෙනවද?
Comments
Post a Comment