අභියෝගය
| © WNPSSL |
(2021 10 19 දින)
අපේ රටේ ගහකොළ, සතා සිව්පාවා, වනාන්තර සහ අනෙක් ස්වභාවික සම්පත් සියල්ලක්ම පාහේ
තියෙන්නේ බහිරව රැලකට නතුවෙලා. දේශපාලකයින්, ධනවතුන් හා බලවතුන් වගේම ඇතැම්
රාජ්‍ය නිලධාරීනුත් ඔය කියන බහිරව රැලට අයත්. ඔවුන් තමන්ට ලැබෙන සෑම අවසරයකින්ම සොබාදහමෙන් අපට
ලැබුණු උරුමයන් මංකොල්ලකන්න මාන බලමිනුයි සිටින්නේ. ඒ නිසා මේ සම්පත් රැකගන්න රටට ආදරය කරන හැමදෙනාම
නිරන්තර අවදියෙන් සහ සිහි බුද්ධියෙන් ඇහැ අරගෙන ඉඳීම අත්‍යාවශ්‍යයි. අපේ රටේ තරුණ පරම්පරාව ඒ අභියෝගය භාර ගනිමින් සිටීම ශුභදායක
දෙයක් කියලයි ලියුම්කරුට
හිතෙන්නේ.
ධන බලවතුන් විසින් බොහෝවිට සිදුකෙරුණු පරිසර විනාශයන් සම්බන්ධයෙන් ඒවා වැලැක්වීම සඳහා මහජන මුදලින් නඩත්තු කෙරෙන ආයතන ක්‍රියාකරන්නේ
නිද්‍රාශීලීව. ඒ නිසා එම ආයතන
හා වගකිවයුත්තන් ඇහැරවන්න මිනිස්සුන්ට අරගල කරන්න සිද්ධවෙනවා. ඒ අරගල වල විවිධ ස්වරූප තිබෙනවා. තමන්ගේ මුහුණු පොත් ගිණුමේ ‘ප්‍රොෆයිල්’ පින්තූරයට රාමුවක් යෙදීමේ ඉඳලා, පාරට බැහැලා සිදුකරන අරගල දක්වාත්, ඒත් බැරිනම් අධිකරණයේ හෝ පිහිට පැතීම දක්වාත් මෙම
අරගලයේ ස්වරූප පුළුල් පරාසයක පැතිරෙනවා. ඒ වගේම විවිධ පුද්ගලයින්ට අරගල සඳහා තම දායකත්වය
ලබාදීමට හැකි ආකාරයත් එකිනෙකට වෙනස්. ඒ සෑම ස්වරූපයකම අරගල වගේම, ඒ දක්වන විවිධ පරිමාණයේ දායකත්වයන් අරගලයකට ඉතා වැදගත්.
පහුගිය අතීතය පුරාවට සිදුවීම් සුළු සංඛ්‍යාවක් ඇරෙන්න බොහොමයක් පරිසරය සම්බන්ධ අරගල ලඝුවෙලා තිබුණේ එම
පාරිසරික ව්‍යසන වලින් කෙලින්ම පීඩාවට පත්වෙච්ච
ජනතාවට විතරයි. යම්කිසි පරිසර
විනාශයක් නිසා පීඩාවට පත්වුණු ජනතාව ඊට එරෙහිව අරගල කරන්න පෙළඹුනා. නමුත් ඒ බොහෝ විට ප්‍රජාවක් හැටියට තම ආත්මාර්ථය වෙනුවෙන්. පරිසර ප්‍රශ්නයට නිසි විසඳුම් ලැබුණත් නැතත්, තමන්ට බලධාරීන්ගෙන් ලැබෙන සුළු සුළු ප්‍රතිලාභ නිසා මේ අරගල බොහොමයක් අතරමැද අත්හැරලා
දාන්න අරගල කරුවන් කටයුතු කළා. නමුත් මේ වෙනකොට තත්ත්වය ඊට වඩා යම් තරමකට වෙනස්. දේශගුණ විපර්යාසය, පරිසර සංහාරය, වනාන්තර විනාශය, සත්ව ශුභසාධන වැනි පුළුල් මාතෘකා සම්බන්ධයෙන් සමාජයේ
කතිකාවත් ඇතිවෙලා, පරිසර සටන් අගනුවර වීථි වලත් ඇවිලිලා.
බොහෝවිට අළුත් ලේ තියෙන තරුණ පරම්පරාව මේ සඳහා විශේෂ ආකර්ෂණයක් දක්වනවා. ඒ නිසා වර්තමානයේ ඇතිවී ඇති පරිසර අරගලයේ ප්‍රධාන කොටස්කරුවන්
බවට පත්වෙලා ඉන්නේ ඔවුන්. ඇතැම්විට ඔවුන් ඉතාම
උද්වේගකර විදිහට පරිසරය රැකගන්න කටයුතු කරනවා. ඒ වගේම පැලයක් හිටවලා රැකබලා ගැනීම, කසළ එක්රැස් කරලා පරිසරය පිරිසිඳුව තබාගැනීම වැනි ව්‍යාපාරත්
ඔවුන් ඉතා උද්යෝගයෙන් සිදුකරන ආකාරය දකින්නට ලැබීමත් සතුටක්. ඔවුන්ට තමන් කරන ක්‍රියාව ගැන හොඳ දැනුමක් සහ යහපත්
ආකල්ප තිබෙනවා. නමුත් ඔවුන්
අත්දැකීම් අතින් පරිනත නොමැතිවීම නිසා ප්‍රශ්න ඇතිවිය හැකියි.
දේශපාලකයන් හා පරිසරය වනසන්නන් ඇතැම් විට පරිසර අරගල වලට නායකත්වය දෙන
පිරිස් බිලී බා ගන්න කටයුතු කරනවා. ඒ වගේම ඔවුන්ගේ ඉත්තන් පරිසර සංවිධාන තුලට ඇතුල් කර අරගල
කඩාකප්පල් කරනවා. එවිට ඔවුන්ගේ අනුගාමිකයින් කබලෙන් ලිපට වැටීම සිදුවෙනවා. තවත් සමහර අවස්ථාවල ඇතැමුන් අරගල වලට නායකත්වය
ලබාදෙන්නේ සැබෑ අවංක චේතනාවෙන් නොවෙයි, තමන්ගේ පෞද්ගලික අරමුණක් සාක්ෂාත්කර ගැනීම සඳහා. උදාහරණයක් වශයෙන් තමන්ට ප්‍රසිධියක් ලබාගැනීමට ඇති ආසාවක සිට එළැඹෙන මැතිවරණයකදී ඡන්දය ඉල්ලීම සඳහා ‘ටිකට් එක’ ලබාගැනීම දක්වා එම
අරමුණුත් පුළුල් පරාසයක පැතිරෙනවා. ඒ වගේම මෙවැනි
අරගල වලින් බොරදියේ මාළු බාන පිරිසකුත් ඉන්නවා. විශේෂයෙන් විපක්ෂ දේශපාලකයින් මේ අතර පෙරමුණේ සිටිනවා. මේ පිළිබඳව තරුණ පරපුරට අත්දැකීම් අඩු නිසා ඔවුන් මේ
කියන පිරිස්වල පටු අරමුණු වෙනුවෙන් තමන් නොදැනුවත්වම තම කාලය, ධනය, හා ශ්‍රමය
වගුරුවනවා. එමගින් සංරක්ෂණ
අරමුණු ඉටුවීමක් සිදුනොවන නිසා පරිසරයට හෝ සොබාදහමට අත්වන සෙතක් නැහැ. මේ දේවල් තේරුම් අරගෙන සංරක්ෂණ අරගලය නිවැරදිව දිශානත
කරගැනීම තමයි අභියෝගය. හැමෝම තමන් විසින් සිදුකරන කාර්ය ගැන හොඳ අවබෝධයකින් නොසිටියොත්
අවසානයේ ඉතිරිවන්නේ ඉච්ඡාභංගත්වය පමණයි.
ඒ නිසා ලියුම්කරු යෝජනා කරන්නේ මග නොදැන ගොස් අතරමං නොවී
මග හරිහැටි දැනගෙන යන්න කියලයි. දේශපාලන පක්ෂය
කුමක් වුනත් හැමෝටම ජීවත් වෙන්න යහපත් පරිසරයක් අවශ්‍යයි. ඒ නිසා සංරක්ෂණය පක්ෂ දේශපාලනයට ලඝු නොකිරීම වැදගත්. පරිසරය සම්බන්ද
ලොකු කුඩා අර්බුද සියල්ලට පාහේ පොදුවේ බලපාන සමාජ දේශපාලනික
මූලයන් ඔය පක්ෂ දේශපාලනයෙන් විග්‍රහ කරන්නත් බැහැ. ඒ වගේම ඒ සඳහා රේඛීය විසඳුමක් සොයන්න උත්සාහ කිරීමත් නොකළ
යුතුයි. අවිද්‍යාත්මක ජනප්‍රිය
අදහස් වෙනුවට ඇත්ත විසදුම් තේරුම් බේරුම් කරගෙන සබුද්ධික මැදිහත්වීමක් කරන්න ඕනෑ. එය බහු පාර්ශවීය, විමධ්‍යගත, විවිධාංගීකරණයකින් යුත් මැදිහත්වීම් සමූහයක් විය හැකියි. ඒ වගේම පරිසරයට අදාළ රාජ්‍ය ආයතන වල සිටින අවංක නිලදාරීන් ගෙන යන අනවරත අරගලය හා ඔවුන් මුහුණ
දෙන ගැටළුද පරිසර ව්‍යාපාරය එක්ක බද්ද කරගත යුතුයි. පරිසරය රැකගන්න සිදුකරන අරගලය ඉතාම සංකීර්ණ, වෙහෙසකර සහ දීර්ඝ එකක්. ඒ සඳහා සැබෑ ලෙසම
කැපවූ ලොව පුරා පරිසර විරුවන් සමහරෙක් අපරාධකරුවන්ගේ වෙඩි උණ්ඩ හෝ පිහි පහර වලින් අකාලයේ මරු වැළඳගත්ත ආකාරය අපි පසුගිය සතියේ කතා කළා (අපේ රටේ එවැනි උදාහරණ විරලයි, පරිසර සටන් පාවාදී ජාවාරම්කරුවන්ගේ ඔඩොක්කු කුක්කන් බවට
පත්වූවන් සිටියත්). ඒ නිසා අරගල බිමේ
සුපරික්ෂාකාරීව ඉදිරියට පියවර තබමු සෙමින් නමුත් ස්ථාවරව.
Comments
Post a Comment