හස්ති ඝාතන වියරුව

 © ජයතිලක බණ්ඩාර

(2021 09 28 දින)

ශ්‍රී අලි-මිනිස් ගැටුම් කලමනාකරණය සහ අලි ඇතුන් සරක්ෂණය ඉතා අවාසනාවන්ත අඩියකට ඇද වැටෙමින් පවතින බව පැහැදිළියි. අම්මාවරුන් මරා වනාන්තර වලින් පැහැර ගැනුණු අලි පැටවුන්ට යුක්තිය ඉටුකිරීමට බලධාරීන් අපොහොසත් බව ලියුම්කරු පසුගිය සතියේ පෙන්වා දුන්නා. අලි-මිනිස් ගැටුමට විසඳුම් ලෙස අලි පැටවුන් සුරතල් සතුන් ලෙස ඇති කිරීමට අවසර දියයුතුයි කියලා, දියවන්නාවේ ඉන්න ගෙම්බන්ට, මාළුන්ට වඩා බුද්ධිමත් යැයි අප සිතන මන්ත්‍රීවරයෙක් පාර්ලි‌‌මේන්තුවේදී කියනවා අහන්න ලැබුණා. ඒ වගේම අපේ රටේ ඉතිරිවෙලා ඉන්න අලි ටික රැකගන්න තව දුරටත් පාලකයින්ට උවමනාවක් නැති බව රට පුරාම සිදුකරන වනාන්තර විනාශයෙන් සහ අක්‍රමවත් සංවර්ධන ක්‍රියාකාරකම් වලින් ප්‍රකට වෙනවා. ඒ අතර වනජීවී විෂයභාර අමාත්‍යවරයාට සහ ලේකම්වරයාට වැළඳී ඇති හස්ති ඝාතන වියරුවත් තත්ත්වය තවත් දරුණු කරණු ඇති බවයි ලියුම්කරුට හැඟෙන්නේ.

මේ වියරුවේ පටන්ගැන්ම තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොතාන, කටුකැලියාව ප්‍රදේශයේ ජීවත්වන වන අලියෙකු අල්ලා හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට ගාල් කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුරාධපුර වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයාට නියෝග කිරීම. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනට ඉන්න හොඳින් පුහුණුව ලැබූ පළපුරුදු අලි ඇල්ලීමේ නිලධාරීන් කණ්ඩායම මේ ආකාරයට වන අලින් අල්ලා හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට ගාල් කිරීම ප්‍රතික්ෂේප කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටිනවා. ඊට හේතුව එය සම්පූර්ණයෙන්ම අසාර්ථක අලි-මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රියාමාර්ගයක් බව ප්‍රත්‍යක්ෂවී තිබීමයි. හොරොව්පතානේ සිරකරුවන් බවට පත්වන අලින් අකාලයේ මරණයට පත්වන බව දැන දැනත් තවදුරටත් අලි ඇතුන්ට එම ඉරණමම අත්කර දීමට එම නිලධාරීන් අකමැතිවීම සාධාරණයි.

එයින් වියරු වැටී සිටින වනජීවී ලොක්කන් මේ වනවිට සැලසුම්කර ඇත්තේ අලි ඇල්ලීම සම්බන්දයෙන් පුහුණුවක් සහ අත්දැකීමක් නොමැති නවක සහ ආධුනික නිලධාරීන් යොදාගනිමින් අලින් ඇල්ලීමටයි. මේ ආකාරයෙන් මිනිස් ජීවිත සහ දේපොළවලට හානිකරන අලි ඇතුන් අල්ලා දුරබැහැර ප්‍රදේශයක පිහිටි ජාතික උද්‍යානයකට හෝ හොරොව්පතාන හස්ති වධකාගාරයට ගෙනගොස් දැමීම අලි-මිනිස් ගැටුමට පිළියමක් නොවන බව වනජීවී දෙපාර්තමේන්තුවට තවමත් නොවැටහුණත් ආණ්ඩුවේ විගණකාධිපතිවාරයා පවා ඒ බව පෙන්වාදී තිබෙනවා.

නමුත් විද්‍යාව වෙනුවට මිත්‍යාව හඹායන වියරු වනජීවී බලධාරීන්ට දැන් අවශ්‍යවී ඇත්තේ ප්‍රතිපලය කුමක් වුණත් කෙක්කෙන් බැරි නම් කොක්කෙන් අලි ඇල්ලීමටයි. ඇල්ලීමට භාජනයවන අලි ඇතුන්ගේ මෙන්ම ඊට අනුයුක්ත වනජීවී නිලධාරීන්ගේ ජීවිතද බරපතල අවධානමකට ඇද දමන මේ ඝාතන වියරුව අලි ඇතුන් ඇල්ලීම තවදුරටත් විශේෂිත රාජකාරියක් නොවන බවයි තීන්දු කර ඇත්තේ. නුපුහුණු ආධුනික නිලධාරීන් යොදාගනිමින් හෝ අලින් ඇල්ලීමටයි. ඒ වගේම නිලධාරීන්ට අවධානමක් වුනත්, අල්ලාගනු ලබන සත්වයාගේ ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා මෙතෙක් සිදු කෙරුණු අලි ඇතුන් නිදිගන්වා රැහැන් දැමීමත් බලධාරීන් ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට බරපතල සංකූලතා සහ මරණය පවා අත්කරදිය හැකි ආරක්‍ෂිත නොවන නිර්වින්දන ඖෂධයක් වන ඉටොර්පීන් යොදාගෙන අලි ඇතුන් නිර්වින්දනය කිරීමටයි යෝජනා කෙරෙන්නේ. අප්‍රිකානු අලි සහ රයිනෝසිරස් සතුන් සඳහා නිර්මාණය කර ඇති මෙම නිර්වින්දන ඖෂධය ආසියානු අලින් සඳහා නිර්දේශ කර නැහැ. එම ඖෂධය යොදා නිර්වින්දනය කරන සතුන් දිගුකාලීනව වකුගඩු සහ අක්මා වැනි අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ගේ සංකූලතා වලට ලක්වීමට සහ/හෝ මරණයට පවා පත්වීමට හැකියි. එවැනි අන්තරායකර ඖෂධයක් යොදාගෙන වනජීවී නිලධාරීන් ආරක්ෂා කරගැනීමට බලධාරීන් කටයුතු කලත් ඔවුන්ගේ මතයඅලියා මැරුණත් කමක් නැයන්න බව එයින් පැහැදිළි වෙනවා. එපමණක් නොවෙයි, මෙවැනි අවස්ථා වල අලින් මරණයට පතුවුව හොත් දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද රාජකාරියකදී ඇතිවූ සිද්ධියක් ලෙස සලකා, තුන්වන පාර්ශවයකට ඊට මැදිහත්විය නොහැකි ආකාරයෙන් අධිකරණයේ කරුණු වාර්තා කිරීමටත් නිලධාරීන්ට උපදෙස් ලැබී තිබෙනවා.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධනය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 2020 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ නිකුත්කළ අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන වාර්තාව මගින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ ඉටු කරගැනීමට නොහැකිවී ඇති බවත් වංචනික සිදුවීම් සිදුවී ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පෙන්වා දී තිබෙනවා.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත 2015 සැප්තැම්බර් 04 දින සිට 2019 ජුනි 25 දින දක්වා කාලසීමාව තුල අවස්ථා 52 කදී අලි ඇතුන් මුදාහැර තිබෙනවා. නමුත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු පමණයි. දොළොස් දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවී ඇති අතර (එම මරණ වැඩි ප්‍රමාණයකට හේතුව ආහාර හිගය) ඉතිරි අලින් 31 දෙනෙකුට සිදුවූ දෙයක් නැහැ. ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකිය යන මිත්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මානව පැහැදිළි වන්නේ දැනට මෙම මධ්‍යස්ථාන වලට ගාල් කර ඇති අලි ඇතුන්ගෙන් එකෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇති නිසායි. එවැනි පසුබිමක් තුල අලි ඇතුනුත් වනජීවී නිලධාරීනුත් ජීවිත අවධානමකට ඇද දැමමින් අලින් අල්ලා හොරොව්පතානට ගාල් කිරීම ඝානත වියරුවක් ලෙස හැඳින්වීම වරදක්ද?

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙන්නේ මේ රටේ ගහකොළ සතාසිව්පාවා ආරක්ෂා කරන්න, සංරක්ෂණය කරන්න මිසක් වනසා දමන්න නොවෙයි කියලා ඕනෑම නොදරුවෙකුට වුනත් වැටහෙනවා. නමුත් ඒ සරල කාරණාව විෂයභාර අමාත්‍යවරයාටත්, ලේකම්වරයාටත්, අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් නොතේරෙන එකනේ කණගාටුව.

Comments

Popular posts from this blog