දී කිරට බළල්ලුත් සාක්කි!


(2021 09 21 දින)

ශ්‍රී ලංකාවේ වනාන්තර වලින් මව් සතුන් මරා අලි දරු පැටවුන් පැහැරගෙනවිත් විකිණීමේ ජාවාරම ඉතා තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ලියුම්කරු ඉකුත් සතියේ පෙන්වා දුන්නා. ගරු අධිකරණයට වාර්තාකර තිබූ විමර්ශනයක කරුණු සනාථ කිරීමට සාක්කි නැති බව පවසමින් චූදිතයින් වෙතම පැවරුණු අලි පැටවුන් පහළොස්දෙනාගෙන් මේ සටහන ලියන විට වහල්භාවයට නතුවී නැත්තේ එක් කෙනෙරක් පමණයි. මවක්ව සිටින ඇයගේ අනාගත ඉරණම විසින් මේ ධර්මද්වීපය අම්මා කෙලෙසූ සල්ලාලයින්ට දියණියවත් බිලිදෙන රටක්ද යන්න තීරණ කරනු ඇති. ඒ වගේම නීතිපති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් රඟ දක්වන්නේ දී කිරට සාක්කි දෙන බළලුන්ගේ භූමිකාවද යන බරපතල කුකුසත් මේ වනවිට රට හමුවේ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වන අලි ජාවාරම පිළිබඳව පරිසර සංරක්ෂණවේදීන් කරුණු දක්වන්නේ දශකයකට වැඩි කාලයක සිටයි. නමුත් ඒ සම්බන්ධයෙන් සක්‍රීයව ක්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණේ 2014 අවුරුද්දේ. ඒ යටතේ මීරිගම, කණ්ඩලම ප්‍රදේශයෙන් ජාවාරම් කරන ලද බවට සැක කෙරෙන අලි පැටවෙකු අත්අඩංගුවට ගනු ලබනවා. එවකට බස්නාහිර කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහත්තයා ප්‍රමුඛ වැටලීම් කණ්ඩායමක්. ඒ අවුරුද්දේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ මෙරට හීලෑ අලි ලියාපදිංචි ලේඛනය අස්ථානගතවීම මෙම ජාවාරමේ කූටප්‍රාප්තිය ලෙස හඳුන්වන්න පුළුවන්. ඉන්පසු රට තුල ඇතිවූ කැළඹීම නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලීසියට මෙම ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් නිහඬව සිටීමට හැකියාවක් ලැබුණේ නැහැ. මෙරට ප්‍රකට පුද්ගලයින්ගේ මන්දිර, ගෙවතු, සහ ප්‍රසිද්ධ විහාරස්ථාන වලින් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගත් අලි පැටවුන් හමු වන්නේ එහි ප්‍රතිපලයක් ලෙසයි.

නමුත් ඒ උනන්දුව වැඩි කලක් පැවතුණේ නැහැ. මෙම ජාවාරම මැඩලීම සඳහා දේශපාලන නායකත්වයගත් විෂයභාර අමාත්‍යවරුන්ට තනතුරු අහිමි වුණා. මෙරට කීර්තිමත් වනජීවී විද්වතෙකුට ඉතා කෙටි කලකින්ම වනජීවී අධ්‍යක්ෂ ජනරාල් පුටුවෙන් ඉවත් වීමට සිදුවුණා. ඊට පස්සේ ආණ්ඩුව පාර්ශවයෙන් දැරුණු සෑම ප්‍රයත්නයක්ම දැරුනේ මෙම වනජීවී ජාවාරම මැඩලීමට නොවෙයි, අත්අඩංගුවට ගැනුණු අලි ඇතුන් නැවතත් ජාවාරම්කරුවන්ටම ලබා දීමටයි. ඒ සඳහා ඇතැම් චීවරධාරීන් අවිහිංසාවේ ප්‍රතිමූර්තිය බඳු බුදුරජාණන් වහන්සේවද දඩමීමා කරගැනීමට පසුභට වුණේ නැහැ. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේද ඉත්තෙකු කරගැනීමට එහි භාරකාරීත්වය දරන ගිහියන් පසුභට වුණේ නැහැ. අමාත්‍ය මණ්ඩලයට විවිධ කරුණු දැක්වීම් සහිත සංදේශ එකපිට එක ඉදිරිපත් කෙරුණා පමණක් නොවෙයි ආණ්ඩුව ජාවාරම්කරුවන්ට රිංගා යා හැකි නීතියේ හිදැස් හොයන්නත් විශාල මහන්සියක් දැරුවා. ජාවාරම්කරුවෝ කොතරම් බලවත්ද කියලා එයින්ම මානව පිළිබිඹු වෙනවා. එහි ප්‍රතිපලයක් විදිහට වැටලීම් අතරමග නතර වෙනවා. අගනුවර මධ්‍යයේ පිහිටි ප්‍රකට විහාරස්ථාන වල වගේම රටේ මුල් පුටුවල අසුන්ගත් ඇත්තන්ගේ මන්දිර වල රඳවා සිටි ජාවරම්කරණ ලද බවට චෝදනා එල්ලවූ අලි පැටවුන් අත්අඩංගුවට ගැනීම අතපසු වෙනවා. ඒ වගේම මේ සම්බන්ද විමර්ශන සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියත් වේගවත්ව සිදුවුණා දැයි සැක සහිතයි. එහි ආසන්නතම සිදුවීම තමයි අලි පැටවුන් 15 දෙනෙක් චූදිතයින් වෙතම ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් හා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් තීන්දු ලැබීම.

ආණ්ඩුව ලහි ලහියේ ප්‍රකාශයට පත්කළ 2021 අංක 1 දරන වන සත්ව හා වෘක්ෂලතා (හීලෑ අලින්ගේ ආරක්ෂාව, සුබ සාධනය සහ ලියාපදිංචිය විධිමත් කිරීමේ) නියෝග මාලාව මේ සඳහා යොදාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ කොයි පදනමෙන්ද කියන එක ප්‍රශ්නයක්? එවැනි පදනම් විරහිතව කටයුතු කරන දෙපාර්තමේන්තුවක් අලි පැටව් ජාවාරම වගේ සූක්ෂ්ම හා සංවිධානාත්මක වනජීවී ජාවාරමකට එරෙහිව සාක්කි හොයාගත්තා නම් තමයි පුදුම. ආණ්ඩුවේ විගණකාධිපතිවරයාම අවස්ථා ගණනාවකදී වනාන්තරයෙන් අල්ලාගෙන ඇවිත් නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන ඉන්න අලි පැටවුන් සම්බන්ධයෙන් විගණන විමසුම් මගින් කරුණු අනාවරණයකර තිබෙනවා. ශ්‍රී ලංකාවේ වන අලි ජාවාරම පිළිබඳව ලියුම්කරු ප්‍රමුඛ දෙස්-විදෙස් පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකළ අධ්‍යනයකදීත් දැනට ආණ්ඩුව භාරයේ සිටින අලින්ගේ ලියාපදිංචි ලේඛන වල සඳහන් වයස සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් නිර්ණය කරන ලද සැබෑ වයස අතර බරපතල පරස්පරයක් තිබෙන බව අනාවරණයකර තිබෙනවා. එවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් එම ජාවාරම ගැනම සාක්කි සපයා ගැනීමට නොහැකි වීම විමතියට කරුණක්.

මෙම අලින්ගේ සහ ඔවුන්ගේ මව් සතුන්ගේ ඩී.එන්.. ගැලපීම මගිනුත් මෙම අලි ඇතුන්ගේ ප්‍රභවය පිළිබඳව සත්‍ය සොයාගන්න පුළුවන්. මේ අලි පැටවුන් සියලුදෙනාගේම මව්වරුන් මියගිහින් නම් එයත් සැකයට තුඩුදෙන කරුණක් නොවන්නේද? මව් සතුන් මිය ගියත් ඔවුන්ගේ අස්ථි හෝ භූමදානය කල තැන්වල ඉතිරිව තිබිය යුතුයි. ඒවායෙන් පවා ඩී.එන්.. සාම්පල ලබාගෙන ගැලපීම සිදුකළ හැකියි. අදාළ දෙපාර්තමේන්තු සාක්කි නැතැයි පවසන්නේ මේ කරුණු සම්බන්ධයෙනුත් විමසීමෙන් පසුවදැයි ප්‍රශ්නකල යුතුයි. ඒ සම්බන්දයෙන් නිපුණත්වයක් සහිත ආයතන සහ පුද්ගලයින්ගෙන් තාක්ෂණික හා වෝහාරික සහාය ලබාගැනීමෙන් පසුවදැයි ප්‍රශ්නකල යුතුයි.  

බොහොම අමාරුවෙන් එදාවේල හම්බකරගෙන කන මිනිහගෙත් ඊරි මාංසෙ උරා බීලා තමයි ආණ්ඩුව ඔය දෙපාර්තමේන්තු නඩත්තු කරන්නේ, ඔය උජාරුවට ටයි කෝට් අඳින මහත්තුරු නෝනලාත් එයාලගේ දූදරුවනුත් යැපෙන්නේ. එහෙම ඇත්තෝ දී කිරට බළල්ලුත් සාක්කි කියන්නා වාගේ කටයුතු කරන රටේ දැන් මිනිස්සුන්ට සිද්දවෙලා තියෙන්නේ හඳ වත් සාක්කි කියනකල් බලන් ඉන්න.

Comments

Popular posts from this blog