නඩුත් - බඩුත් හාමුදුරුවන්ගේද?
(2021 09 14 දින)
අපේ රටේ වන අලි සංරක්ෂණය, වනජීවී අපරාධ මැඩලීම සහ නීතියේ ආධිපත්‍යය ඉතා බරපතල අගාධයකට ඇද දමන සිදුවීමක් පසුගියදා වාර්තා වුණා. ඒ තමයි මෙරට වනාන්තර වල ජීවත්වූ අලි රංචු වලින් ඉතා අමානුෂික ක්‍රම මගින් අල්ලා ජාවාරම් කිරීම නිසා ආණ්ඩුව භාරයට ගැනුණු, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය අපරාධ පරීක්ෂණ සිදු කරලා අධිකරණයේ විමසමින් තිබූ නඩු වල නඩු භාණ්ඩ ලෙස නම් කෙරුණු අලි පැටවුන් 14 දෙනෙක් නැවතත් චූදිතයින්ටම ලබාදෙන්න නියෝග කිරීම.
මේ අලි පැටවුන් පැහැරගෙන තිබෙන්නේ ඔවුන්ගේ අම්මලා මරලා කියලා වනජීවී විෂය භාර අමාත්‍යාංශය මගින් පත්කෙරුණු කමිටු වාර්තා වලත් පැහැදිලිවම සඳහන් වෙනවා. එහෙව් අලින්ට සුළු හෝ සාධාරණයක් වෙන්න අදාළ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කරගෙන එම සතුන් තමන්ගේම සනුහරේ අය ඉන්න උඩවලව ඇත් අතුරු සෙවණ සහ පින්නවල අලි අනාථාගාරය වැනි ස්ථාන වල රඳවලා තිබුණේ මේ නඩු හබ ඉවර වුණාම නැවතත් උන්ගේ ස්වභාවික වාසභූමි වලට මුදාහරන්න පුළුවන් නිසා. නමුත් එහෙම සතුටින් හිටපු අලි පැටවුන් නැවත වරක් කුප්‍රකට විදිහට තමන්ගේ ග්‍රහණයට ගැනීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කිරීම ඇති කරන්නේ පිළිකුලක්.
බොහොමයක් පරිසර ප්‍රශ්න සම්බන්දයෙන් වගේම මේ ප්‍රශ්නෙදීත් අලි පැටවුන්ගේ දුක බොහෝ දෙනෙකුට දැනුණු බවක් පෙනෙන්න නැහැ. නිර්වින්දනය වුන සමාජයක අනෙකාගේ දුක වෙනුවෙන්වත් ඇරෙන්නේ නැති ඇස්-කන්, කටවල් අලි ඇතුන් වෙනුවෙන් ඇරෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් ඒ නිහැඬියාව බිඳගෙන සමහර චීවරධාරීන් මේ අහස පොළොව නූහුලන වනජීවී අපරාධය සාධාරණීකරණය කරන්න ඉක්මන් වුණේ තමන් ගත දරා සිටින්නේ අවිහිංසාවේ ප්‍රතිමූර්තිය, බුදුරජාණන් වහන්සේ දරා සිටි චීවරය බව වත් නොතකමින්. මේ ආකාරයෙන් ආණ්ඩුව භාරයේ රඳවා සිටි අලි පැටවුන් 14 දෙනෙක් නිදහස් කරන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් තීන්දුව ලැබුණා. ඉන් පස්සේ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙනුත් තව අලි පැටවෙකුට එම තින්දුවම ලබා දුන්නා. මෙරට පරිසරයට ආදරය කරන අතලොස්සක් දෙනා යුහුසුළුව මීට එරෙහිව නැගී සිටියත් දැනට ආණ්ඩුව භාරයේ සිටින අලි පැටවුන් සියලු දෙනාටම ( මුළු එකතුව 38කි) මේ ඉරණම අත්වීමට ඇති අවධානම ඉවත්වෙලා නැහැ.
වනගත අලි ඇතුන් හයදහසක් පමණ ඉන්න රටේ අලි 38දෙනෙක් අල්ලා ගැනීම සුළු දෙයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එය එහෙම නෙවෙයි කියලා අපි තරයේ සිහි තබාගන්න ඕනෑ 38 කියන්නේ වර්තාවුණු ප්‍රමාණය පමණක් නිසා. නීති විරෝධී ලෙස මුද්‍රණය කරපු හොර මුදල් නෝට්ටු ඒවා මුද්‍රණය කරපු අයටම වියදම් කිරීමට නැවත ලබා දෙන්න පුළුවන් කාටද? ජාවාරම්කරුවන්ගෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් තොග නැවත එම ජාවාරම්කරුවන් වෙතම ලබා දෙන්න පුළුවන් කාටද? අපහරණයට ලක්වුණු කාන්තාවකගේ, දරුවෙකුගේ අයිතිය එසේ සිදුකළ සැකකරුවාටම ලබා දෙන්න පුළුවන් කාටද? ඉතින් මේ අම්මලා මරලා පැහැරගත් අලි පැටවුන් සම්බන්දයෙන් එම තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්ද?
අලි ඇතුන් කියන්නේ ඉතා දැඩි සාමාජීය බැඳීමකින් ජීවත්වෙන සත්ත්ව විශේෂයක්. එවැනි බැඳීම් කුඩුපට්ටම් කරලා අලි රංචුවකින් පැටවුන් පැහැරගෙන ආවහම එහි වේදනාව ඒ අලි රංචුවට කාලාන්තරයක් තිස්සේ බලපානවා. විවිධ ප්‍රදේශ වලින් ඉවක් බවක් නැතුව අලි පැටවුන් ඇල්ලීම නිසා ප්‍රාදේශීය වශයෙන් අලි ඇතුන් වඳවී යන්නත් පුළුවන්. ඒ වගේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටු වලටත් මේ වනජීවී ජාවාරම පිළිබඳව චෝදනා එල්ලවෙලා තිබුණු තත්වයක් තුල අලි පැටවුන් ජාවාරම මැඩලන්න ජීවිත පරිත්‍යාගයෙන් අභීතව කැපවුණු වනජීවී නිලධාරීන්ට මේ තීන්දුවෙන් ලබාදෙන පාඩම මොකද්ද? ආයේ කවදාවත් තමන්ගේ ජීවිත, දරු පවුල් වල අනාගතය බිල්ලට දීලා එම නිලධාරීන් මෙරට වනජීවී අපරාධ මැඩලන්න කටයුතු කරයිද? යුක්තිය ඉටුවන බව පැහැදිලිව පෙනී යාම යුක්තිය ඉටුවීම පමණටම නීතිමය ක්‍රියාවලියක සුජාතභාවය සම්බන්දයෙන් වැදගත් මූලික යුක්ති මූලධර්මයක්. එසේම යුක්තිය පමාවීමම අයුක්තියක් කියලත් කියමනක් තිබෙනවා. ඉතින් වසර ගණනාවක් තිස්සේ ජාවාරමට ලක්වූ අලි පැටවුන් පමණක් සිර දඬුවම් විඳින, හොර බඩු හොරුන්ටම ලබාදෙන යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රනයකින් එසේ අප්‍රමාදීව යුක්තිය ඉටුවන බව පැහැදිලිව පෙනීයන තරමට මේ රටේ මිනිසුන් අන්ධයෝද? මෙරට වනජීවී සංරක්ෂණය, වනජීවී අපරාධ මැඩලීම සහ නීතියේ ආධිපත්‍යය සම්බන්දයෙන් වර්තමාන තත්ත්වය ඉතා අවාසනාවන්ත බව ලියුම්කරුට හැඟී යන්නේ ඒ නිසා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුල් පුරවැසියාගේ නමත් මේ නඩු භාණ්ඩ බෙදී යාමේ ලැයිස්තුවේ සඳහන් වීම ඒ හැඟීම තවත් තීව්‍ර කරන බව කිවයුතුයි.
ඉතින් එන්න,
අම්මාවරුන් මරා දරු පැටවුන් පැහැරගන්නා රටක, ඊට සම්බන්ද ජාවාරම්කරුවන්ට පුණ්‍යානුමෝදනා කරන පැවිද්දන් සිටින රටක, ජාවරම්කරුවන් වෙනුවෙන් අනපනත් වෙනස් කෙරෙන, අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සැකසෙන, කැකිල්ලේ තීන්දු ලැබෙන රටක, මේ සියළු ඛේදවාචකයන් හමුවේ මිනිවත රකින ජනතාවක් ඉන්නා
රටක අපි මිනිස් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ සුභ සිහින දකිමු!
Comments
Post a Comment