ඉඩම් ලේකංතුමා වෙත
(2021 08 17 දින)
රටේ වන සම්පත රැකගැනීමේ කාලීන අවශ්‍යතාවය නොතකන ජාතියක අනාගත ඉරණම ගැන ලියලා අත ගන්න හම්බුනේ නැහැ. වනාන්තර සංරක්ෂණය, රුක් රෝපණය වගේ ආකර්ෂණීය වදන් දීලා මේ රටේ ඉන්න විමසුම් බුද්ධියක් තියෙන අල්ප මාත්‍ර ජනතාවත් ගොනාට අන්දමින් ආණ්ඩුව මේ කරන්නේ ප්‍රෝඩාවක් කියලා ලියලා අත ගන්න හම්බුනේ නැහැ. මේ සොබාදහම අපට හුස්ම දෙන තුරු රටේ පාලකයන්ට ‘හුස්ම දෙන තුරු’ වැනි ප්‍රෝඩාවන් සිදුකරමින් මිනිසුන් රවටන්නට ඉඩ ලැබෙයි කියලා ලියලා අත ගන්න හම්බුනේ නැහැ. හුස්ම හිරවෙන තුරු බලා නොසිට දැනට ඉතිරිවෙලා තියෙන වනාන්තර ටිකවත් ආරක්ෂා කරගන්න ආණ්ඩුව කඩිනමින් සක්‍රීයව මැදිහත් වුනොත් හොඳයි කියලා ලියලා අත ගන්න හම්බුනේ නැහැ. මොකට ලියනවද මේවා කියලා හිතුනා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලේකංතුමා ගහපු 2021 අගෝස්තු 6 දිනැති අංක 02/2021 දරණ ‘රජයේ ඉඩම් මැන වෙන් කිරීම’ චක්රලේඛෙ දැකලා.
වැඩිවන මිනිස් ජනගහනයේ මූලික අවශ්‍යතා සපුරන්න වනාන්තර විනාශකරන්න වෙනවා කියලා තව දුරටත් හිත හදාගන්න අපට බැහැ. ලෝකය පුරාම නව තාක්ෂනය සහ විද්‍යාත්මක දියුණුව පාවිච්චි කරලා අඩු බිම් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් සංවර්ධන ආකෘති සාර්ථකව නිර්මාණය කරලා තියෙනවා. මුළු මහත් ලෝකයේම වනාන්තර ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුනත් එම වන හායනය පාලනය කරන්න ඔවුන් නොයෙකුත් සාධණීය උත්සාහයන් අරගෙන තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට වඩා වෙනස්. මෑත කාලීනව බලයට පත්වූ ආණ්ඩු සිදු කලේම මේ රටේ ඉතුරු වෙලා තියෙන වනාන්තර අතලොස්සත් වැනසීමයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ පෙන්නන්න ආපු මේ ආණ්ඩුවත් බලයට පත්වූදා ඉඳන් ගන්න තරමක් තීන්දු තීරණ ගත්තේ වනාන්තර බිං අඟලකට හරි වැඩේ දෙන්න බලාගෙන බව කියන්නත් ලැජ්ජයි.
‘රජයට අයත් සියලුම අවශේෂ කැලෑ කළමනාකරණය හා පාලනය කිරීම සඳහා වන සංරක්ෂකට පැවරීම’ සඳහා නිකුත් කෙරුණු 2001 අගෝස්තු 10 දිනැති 05/2001 අංක දරණ චක්‍රලේඛය මේ ආණ්ඩුව අවලංගු කළේ බලයට ආපු අලුතමයි. ඒ එම චක්‍රලේඛයට එහා ගිහින් 2009 අංක 65 දරන වන සංරක්ෂණ (සංශෝධන) පනතේ 20 වැනි වගන්තියෙන් අදාළ වනාන්තර ආරක්ෂා කරලා තියෙද්දී. ආණ්ඩුව දැන දැනම මේ නීති විරෝධී වැඩේ කළේ දේශපාලුවන්ට සහ උන්ගේ හෙන්චයියන්ට අපේ රටේ ඉතිරිවෙලා තිබුණු වනාන්තර ටික උලාකන්න පාර කපලා දුන්නා. ඉන් නොනැවතී ජනාධිපතිවරයා තමන්ගේ වාචික ප්‍රකාශ චක්‍රලේඛ ලෙස භාරගන්නැයි කියමින් ගමින් ගමට ගිහිනුත් කලේ ඒකම තමයි. ඒ අතර ‘වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සතු වගා කළ හැකි ඉඩම් පිළිබඳ තොරතුරු ලබාගැනීම’ ට මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) 2020 ජුනි 26 දිනැති අංක 4/3/8/4 දරණ ලිපියකුත් ලිව්වා. ඒ ලේකංතුමා නොදන්නවාද වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සතුව තියෙන්නේ සංරක්ෂණය කලයුතු ඉඩම් විනා වගා කළ හැකි ඉඩම් නොවන බව?
‘කිසිඳු ලියවිල්ලක් ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීම’ මැයෙන් 2020 සැප්තැම්බර් 10 දිනැති අංක 2192/36 දරණ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණේත්, ඊට අදාළ ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2020 සැප්තැම්බර් 09 දිනැති අංක 2020/16 දරණ චක්‍රලේඛය (පසුව අවලංගු කෙරුණු) නිකුත් කෙරුණේත් කුප්‍රකට ආකාරයෙන් මේ රටේ වනාන්තර ටික ඩැහැගන්න තමයි. ඊට එල්ලවූ මහජන විරෝධයට ආණ්ඩුව දුන්න කැරට් අලේ තමයි ‘රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය’ මැයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කෙරුණු 2020 නොවැම්බර් 04 දිනැති අංක MWFC/1/2020 දරණ චක්‍රලේඛේ. නමුත් මේ රටේ ඉතිරිවෙලා තියෙන වනාන්තර ස්වල්පයට ඉව අල්ලන ආණ්ඩුවේ උත්සාහය අවසන් නැති බව ඉඩම් ලේකංතුමා තමන්ගේ අලුත්ම චක්‍රලේඛෙනුත් ඔප්පු කරලා හමාරයි.
ශ්‍රී ලංකාවේ දැනට ඉතුරුවෙලා තියෙන වනාන්තර සහ ස්වභාවික
සම්පත් ටික මේ මට්ටමින් වත් ආරක්ෂාවෙලා තියෙන්නේ මේ රටේ අතීත රාජ්‍ය සේවයේ හිටිය කශේරුකාවක් තිබුණු, තුන්කල් දක්නා නුවණක් තිබුණු නිලධාරීන් තම ජීවිත පවා
පරිත්‍යාග කරලා ඒවා ආරක්ෂා කරගන්න කැපවුණු නිසා කියලා ලේකංතුමා මතක තියාගත්තොත්
හොඳයි. අද දවසේ දේශපාලකයින් සහ
නිලධාරීගොල්ල එකතුවෙලා මේ සුසානභූමියක් කරන්න අරාඳින්නේ ඒ ස්වර්ණභූමිය. උන්ගේ කියුම් කෙරුම් නිසා තමයි අද වෙනකොට මේ පොළොවේ වන
සතුනුත් - මනු සතුනුත් කියන
දෙපිරිසම අපා දුක් විඳින්නේ. අලි-මිනිස් ගැටුමෙන් දවසකට එකා බැගින් අලි ඇතුන් සහ සතියකට තුන්දෙනා බැගින් මිනිසුන් මැරී වැටෙන්නේ උඹලාට ශාප කරමින්. ඉන්දියන් සාගරයේ මුතු ඇටය, කඳුළු කැටයක් කරලා මුහුදු හතකින් එහාට පැනලා ගියත් ඒ
ශාපයෙන් බේරෙන්න බැරි බව ඔය කොයි කොයි ලේකංතුමාත් මතක තියාගත්තොත් හොඳයි.
Comments
Post a Comment