අතිගරු ජනාධිපතිතුමණි!
(2021 08 03 දින)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න සිතුවේ ඔබ අද දවසේ මෙම දිවයිනේ සිටින සියලු සත්වයින්ගේ භාරකරුවා වන නිසායි. එනයින් ඔබ අලි ඇතුන්ගේද මනු සතුන්ගේද භාරකරුවා වන නිසායි.
අලි-මිනිස් ගැටුම අද වනවිට ශ්‍රී ලංකාවේ
අප මුහුණදෙන බරපතලම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලනික අභියෝගයක් බවට පත්ව ඇති බව
නොකිවමනායි. ඒ හේතුවෙන්
මෙම දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක 19ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක ජීවත්වන ජනතාවට
තම ජීවිත, දේපොළ සහ
භවභෝග පිළිබඳව නිරන්තරයෙන් බියෙන් පසුවීමට සිදුවී ඇති බව ඔබද නොදන්නවා නොවෙයි. ලොව අලි-මිනිස් ගැටුම හේතුවෙන්
වාර්ෂිකව අලි ඇතුන් වැඩිම ප්‍රමාණයක් මිය යන රටත් දෙවැනි වැඩිම මිනිස් මරණ
වාර්තාවන රටත් ශ්‍රී ලංකාවයි.
මෙවැනි
පසුබිමක 2020 ජූලි 22 දින ඔබගේ
නියෝග මත ‘ශ්‍රී ලංකාවේ
අලි-මිනිස් ගැටුම්
අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ සකස් කිරීම සඳහා
ජනාධිපති කමිටුවක් පත්කිරීම ලියුම්කරු දුටුවේ සුභ සිහිනයක් ලෙසයි. අලි ඇතුන් පිළිබඳ ප්‍රකට
විද්වතෙකු වන ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු මෙම
කමිටුවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දෙපාර්තමේන්තු
ප්‍රධානීන්, සහ පරිපාලන
නිලධාරීන් රැසක් ඇතුලත් වුණා. ඔවුන් විසින්
සකස් කෙරුණු සැලැස්ම 2020 දෙසැම්බර් 17 දින ජනාධිපති
ලේකම් කාර්යාලයට භාරදී ඇති බව සැලයි. ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම
අවමකරගැනීම සඳහා වන තුන්කල් දකිනා සාධණීය, ප්‍රායෝගික, යථාර්තවාදී සහ
සමෝධානිත වැඩපිළිවෙලක් එමගින් යෝජනාකර ඇති බව මේ පිළිබඳව උනන්දුවක් දක්වන
බහුතරයකගේ මතයයි. රාජ්‍ය ගිණුම්
පිළිබඳ කාරක සභාවත් (කෝපා කමිටුව) එය අනුමත කර තිබෙනවා. නමුත් දැනට මාස හතකටත්
වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත් සැලැස්ම හමස් පෙට්ටියේ සඟවාගෙන වගකිවයුත්තෝ මෙරට අලි-මිනිස් ගැටුම තව දුරත්
අවුළුවමින් සිටින බව ඔබ නොදන්නවාදැයි සැකයි. අලි-මිනිස් ගැටුම
අවමකරගැනීමට ඉතා යෝග්‍ය සැලැස්මක් මෙසේ සඟවා තබාගෙන ගතවන දිනයක් දිනයක් පාසා ජීවිත
සහ දේපොළ රැසක් රටට අහිමිකරමින්, ජන ජීවිත කබලෙන් ලිපට ඇද දමමින් අදාළ බලධාරීන් මේ
ඉටුකරන්නේ කාගේ අවශ්‍යතාවයන් ද යන්න උභතෝකෝටිකයක්. එහි වන්දිය වශයෙන්
දිනකට එක අලියෙකුට සහ සතියකට මිනිසුන් දෙදෙනකුට ජීවිත අහිමිවීම ඉතා සෝචනීය තත්ත්වයක්.
පසුගිය දශක
කිහිපය විමසා බැලීමෙන් පෙනී යන්නේ මෙරට අලි-මිනිස් ගැටුම විසඳීම
සඳහා වෙන්කරන මහජන මුදල් මකර කටට යවමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට
නැංවූ කිසිඳු වැඩපිළිවෙලකින් ගැටුමට විසඳුම් ලැබී නොමැති බවයි. ඒ සඳහා විවිධ අක්‍රමවත්
සංවර්ධන ක්‍රියාකාරකම, අනවසර ඉඩම්
අල්ලාගැනීම් සහ නීතිවිරෝධී මිනිස් ක්‍රියාකාරකම් හේතුවී ඇති බව ඇත්තයි. නමුත් එවැනි තත්ත්වයක්
තුල පවා පසුගිය දශකය තුල මෙරට අලි-මිනිස් ගැටුම
විසඳීම සඳහා වෙන්කර ඇති අරමුදල් ප්‍රමාණය සියයට එකසිය දහයකින් වැඩි කිරීමට ආණ්ඩුව
කටයුතු කර තිබෙනවා. එහෙත් අලි-මිනිස් මරණ සංඛ්‍යාව
වාර්ෂිකව ඉහළ යාම හැර එම මුදල් වලින් අත්කරගත් කිසිඳු ප්‍රගතියක් නැහැ.
ඊට හේතුව අන්
කිසිවක් නොව බලධාරීන් දිගින් දිගටම අසාර්ථක අලි-මිනිස් ගැටුම්
කළමනාකරණ මෙවලම් සම්බන්ධයෙන් විශ්වාසය තැබීමයි. මෙම ගැටුම අවම කිරීම
සඳහා පුළුල්ව භාවිතා වන මෙවලම වන්නේ විදුලි වැටයි. නමුත් එය අසාර්ථක වීමට
හේතුව අලි ඇතුන්ගේ වාසභූමිය සහ සංවර්ධිත ප්‍රදේශය අතර මායිමේ සවි නොකර රක්ෂිත ප්‍රදේශ
සීමා කිරීමට යොදා ගැනීම, නියමිත
ගුණාත්මයෙන් තොරව ඉදිකිරීම සහ නඩත්තුවක් නොමැතිකමයි. එම අසාර්ථක පන්නයේ
විදුලි වැටවල් කිලෝමීටර් 4500 ක් පමණ දැනට
රට පුරා ඉදිකර තිබෙනවා. පසුගිය 2010–2019 කාලසීමාව තුල
වාර්ෂිකව නව විදුලි වැට කිලෝමීටර් 267 ක් පමණ (පැරණි විදුලි වැට
නවීකරණය සහ ප්‍රතිස්ථාපනය කිරීමට අමතරව) ඉදිකිරීමට වනජීවී
සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතුකර තිබෙනවා. නමුත් එයින් ශත පහක
පලක් වී නොමැති පසුබිමක බලධාරීන් මේ අවුරුද්දේ නැවතත් විදුලි වැට කිලෝමීටර් 1500ක් ඉදි කිරීමට
සැරසෙන බව දැනගන්නට තිබෙනවා. ඒ ඔබගේ අනින්
සකස් කෙරුණු ජාතික ක්‍රියාකාරී සැලැස්මේ නිර්දේශ වලටත් පටහැනිවයි.
එසේම දිගින්
දිගටම අසාර්ථක අලි රැඳවුම් මධ්‍යස්ථාන තුල වන අලින් අකාලයේ මරු වැළඳගන්නා පසුබිමක
බලධාරීන් තවදුරටත් අන්ධයන් බිහිරන් සේ ඒවා පසු පස ගමන් කරමින් සිටීමද විමතිය දනවන
සුළුයි. ජාතික විගණන
කාර්යාලය මගින් 2020 අවුරුද්දේ ඔක්තෝබර්
මාසයේ ඉදිරිපත්කර ඇති අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන
වාර්තාව මගින්ද දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය
පිහිටුවීමේ අරමුණ ඉටු කරගැනීමට නොහැකිවී ඇති බවත් වංචනික සිදුවීම් සිදුවී ඇති බවත්
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න පෙන්වා
දෙනවා. ඔහු වැඩි
දුරටත් සඳහන් කරන්නේ අලුතින් අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ප්‍රථම
හොරොව්පතාන වර්තමාන මධ්‍යස්ථානය සාර්ථක කරගැනීමට කටයුතු කළයුතු බවයි. දෛවයේ සරදමකට මෙන් මෙම
විගණන වාර්තාවේ පිටු වැස්මේ ඡායාරූපයක පෙනී සිටින කල්ලඩි දළ කොටා නම් ඇත් රාජයාත් නොබෝදා කුසගින්නේ අකාලයේ මිය ගියා. නමුත් මේ පිළිබඳව වගේ
වගක් නොමැතිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙවර මුදල් මෙන්ම ලුණුගම්වෙහෙර ජාතික
උද්‍යානයත් කාබාසීනියා කරමින් අලුතින් එළිමහන් අලි සිර කඳවුරක් ඉදිකරමින්
සිටිනවා. බලධාරීන්
මෙවැනි අසාර්ථක ක්‍රමවේද තවදුරටත් වැළඳගෙන සිටින්නේ අලි-මිනිස් ගැටුම අවම කරගැනීමටද නොඑසේනම්
අලි-මිනිස් ජීවිත
තවත් බොර කරමින් වල ඉහ ගැනීමටද යන්න සොයා බැලිය යුතුයි.
1959 අවුරුද්දේදී ‘වනජීවී ආරක්ෂණ කමිටුව’ පත් කිරීමෙන් පසු විද්වත් කමිටුවක්
පත්කර ‘ශ්‍රී ලංකාවේ
අලි-මිනිස් ගැටුම්
අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ සකස් කිරීම ශ්‍රී ලංකාවේ වන අලි
සංරක්ෂණයේ සහ අලි-මිනිස් ගැටුම
කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් ලෙස හඳුන්වන්න
පුළුවන්. මෙරට අලි-මිනිස් ගැටුම
අවමකරගැනීමට ආණ්ඩුවට ඇති සැබෑ අවශ්‍යතාවය එමගින් පිළිබිඹු වෙනවා. නමුත් එම ධනාත්මක ප්‍රවණතාවය
තවත් ඉදිරියට ගෙන යමින් යහපත් වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් ඔබ කඩිනමින් කලයුත්තේ
ජනාධිපති කාර්යසාධක බලකායක් ඇතිකර එම සැලැස්ම ක්‍රියාවට නැංවීමයි. අලි-මිනිස් ජීවිත වනසමින්
මඩි තරකරගන්නා සුදු කරපටි ජාවාරම්කාරයින් පෙන්වන මංමුලාවල නොගොස්, මෙරට අලි-මිනිස් ගැටුමෙන් බැටකන
සුවහසක් ජනතාවගේද අසරණ අලි ඇතුන්ගේද ජීවිත වලට සහනයක් සලසන්නට ඔබට එවිට හැකි වේවි!
Comments
Post a Comment