යාල අයාලේ?

(2021 07 20 දින)

යාල වන උයනේ සොබා අසිරිය මේ කරදිය වළල්ලෙන් එහා රට රටවල් වලත් ප්‍රසිද්ධයි. සංචාරක කර්මාන්තය තමන්ගේ ප්‍රධාන විදේශ විනිමය ඉපයීමේ මාර්ගයක් කරගත්ත ලංකාවට විදේශ සංචාරකයින් රෝද බැඳගෙන එන්නේ යාල ජාතික උද්‍යානය වගේ ගහකොළ - සතා සිව්පාවාගෙන් පිරිණු සොබාදහමේ අපූරු දායාදයන් නරඹන්නයි. මේ සරල කාරණාවවත් හරියට වටහා ගන්න බැරි අමනෝඥ දේශපාලකයින් සහ ඇතැම් හිමිවරුන් නිසා යාලට මේ වනවිට එල්ලවී ඇති අවධානම සුළුවෙන් තකන්න බැහැ.

යාල කලාප අංක එකට අයත් අලි ගල ප්‍රදේශයේ ආකාස චෛත්‍ය පුරාවිද්‍යා නටඹුන් ස්ථානය ඈඳා ගනිමින් පුළුල් මාර්ගයක් ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුත්තක් සඳහා සැලැස්මක් ඇති බවත් ඒ සඳහා උද්‍යානයෙන් අක්කර 12,000 ක් ලබාගැනීමට සූදානම් වන බවත් අසන්න ලැබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාව පුරා විසිරී පවතින ඕනෑම පුරාවිද්‍යා ස්ථානයක් ගවේෂණය හෝ ප්‍රතිසංස්කරණ කිරීම සම්බන්ධයෙන් අපට කිසිම ගැටළුවක් නැහැ. නමුත් ආකාස චෛත්‍ය දඩමීමා කරගෙන කවුරුන් හෝ යාල ජාතික උද්‍යානයට අත තියන්න උත්සාහ කරනවා නම් රටට, පරිසරයට ආදරය කරන සියලු බලවේග ඊට එරෙහි විය යුතුමයි.

1938 පෙබරවාරි 25 වැනිදා ශ්‍රී ලංකාවේ මුල්ම ජාතික උද්‍යාන දෙකින් එකක් ලෙස යාල ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කරන්නේ මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ කඩයිමක් සනිටුහන් කරමින්. ඒ තීරණය කොතරම් නිවැරදිද කියලා හිතෙන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන ජාතික උද්‍යාන අතරින් වැඩිම ජනතා ආකර්ෂණය දිනාගත් ජාතික උද්‍යානය බවට යාල පත්වී ඇති නිසා. මෙරට ජාතික උද්‍යාන හරහා ආණ්ඩුවට ලැබෙන ආදායමෙන් තුනෙන් එකක් පමණම ලැබෙන්නේ යාලෙන්. එවැනි පසුබිමක අක්කර 34,350 ක් පමණ වන යාල කලාප අංක එකෙන් අක්කර 12,000 ක්, එහෙමත් නැත්නම් තුනෙන් එකක් ඉල්ලන හෝ ලබාදෙන කුමන හෝ පාර්ශවයක් ඉන්නවා නම් ඔවුන්ට මොළේ කලඳක් වත් ඇති කියලා හිතන්න බැහැ.

යාල ජාතික උද්‍යානය තුල පිහිටි සිතුල්පව්ව රජමහා විහාරය සහ මගුල් මහා විහාරය ජනාකීර්ණව පැවතීම දැනටමත් එම ජාතික උද්‍යානයේ පරිපාලනයට ඇතිකරන ගැටළු සරල නැහැ. හැම අවුරුද්දකටම දෙවරක් පමණ තිස්සමහාරාම සිට බැඹව හරහා සිතුල්පව්ව දක්වා ජාතික උද්‍යානය මැදින් කිලෝමීටර් 18 ක් දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම සඳහා බොරළු කපන්නේ ජාතික උද්‍යානයෙන්. අර්ධ ශුෂ්ක කලාපයේ තියෙන මෙවැනි ජාතික වනජීවී රක්ෂිතයක ඉවක් බවක් නැතිව බොරළු කැපීම මගින් වන වැස්මට සිදුවන බලපෑම, ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂ ව්‍යාප්තියට ඇති අවධානම ආදී පාරිසරික ගැටළු ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඒ වගේම ජාතික උද්‍යානයේ අක්කර 10,000 ක පමණ කොටසක් හුදෙකලා වෙන්නත් මේ මාර්ගය හේතු වෙලා තියෙනවා. ස්වභාවික පරිසර පද්ධති හරහා මාර්ගය ඉදිකිරීමේ ආදීනව වන සතුන් රිය අනතුරු වලට ලක්ව මරණයට පත්වීමේ සිට ගහනයන් හුදෙකලා වීම නිසා වනජීවීන්ට ප්‍රවේණි විද්‍යාත්මක බලපෑම් එල්ලවීම දක්වා පුළුල් පරාසයක පැතිරෙනවා. ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරාම ඊට උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. මෙම යෝජිත මාර්ග සංවර්ධනය මගින් සිදු වන්නේ එම අහිතකර බලපෑම් අලිගල දක්වාත් ජාතික උද්‍යානය තුලට ව්‍යාප්ත වීම. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 1 වන හා 2 වන සියවස් වලට අයත් සෙල්ලිපි 50ක් සහ පුරාවිද්‍යා ස්ථාන 40ක් පමණ යාල ජාතික උද්‍යානය තුල පිහිටා තිබෙනවා. ඉදිරියේදී ඒවා කිහිපයක් හෝ සියල්ලමත් ජනතාව ගැවසෙන විහාරස්ථාන බවට පත් කළොත් යාලට කුමකින් කුමක් සිදුවෙයිද කියලා අබ මල් රේණුවක තරම් වත් මොළයක් තියෙන ඕනෑම කෙනෙකුට වැටහෙනවා.

තිස්සමහාරාම සිට බලි හන්දිය - බන්දු වැව - කොච්චිපොතාන - කටගමුව හරහා ජාතික උද්‍යාන මායිමෙන්  සිතුල්පව්ව දක්වා පරිසර බලපෑම් අවම වන පරිදි බෝක්කු යොදා මාර්ගයක් සකස් කර තිබෙනවා. නමුත් විවිධ පදනම් විරහිත හේතු දක්වමින් එය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරන විහාරාධිකාරීන් තව දුරටත් යාල වනසන ක්‍රියාකාරකම් සඳහාම පෙරමුණ ගැනීම දෛවයේ සරදමක්. යාල ජාතික උද්‍යානය තුල මේ වන විටත් සිදුවන සහ ඉදිරියේදී සිදු වෙතැයි සැක කෙරෙන ක්‍රියාකාරකම් පිළිබඳව සිතීමේදී ලියුම්කරුට ඇතිවන පැනය ශ්‍රී ලංකාවේ දැන් සිටින්නේ පහත සඳහන් උතුම් බුද්ධ වචනය අනුව යන සංඝයා වහන්සේ නොවේද යන්නයි.

ආරාම රෝපා වන රෝපා - යේ ජනා හේතුකාරවා

පපංච උද්‍යානංච - යේ දදන්ති උපස්සයං

තේසං දිවාච රත්තෝච, සදා පුඤ්ඤං පවඩ්ඩති.

(ආරාම උයන්වතු තැනීම, පාලම් ඒ දඬු ඉදි කිරීම, ළිං පොකුණු තැනීම, නවාතැන් පොළ ඉදි කිරීම මගින් සිදුකරන පින්කම් දිවා රෑ පින් වඩවයි)

දිවා රෑ කුසල් වඩන වනපෙත් ආරක්ෂා කිරීමේ පුණ්‍යකර්මය වෙනුවට ඇතැම් චීවරධාරීන් මේ තෝරාගෙන ඇත්තේ කුමන මගක්ද?

Comments

Popular posts from this blog