හදබිම උණුසුම්ය!


(2021 07 13 දින)

සුව පහසු පරිසරයක ජීවත් වෙන්න අපි හැමෝම කැමතියි. පිරිසිදු හුස්මක් ගන්න, පිරිසිදු දිය පොදක් පානය කරන්න, ()ස්වභාවික විපත් වලින් ආරක්ෂා වෙන්න, සිසිල් සුවපහසු පරිසරයක කාලය ගත කරන්න, රෝග බියෙන් ඈත් වෙන්න අපි කැමතියි. ඒ වගේම සොබාදහමේ අසිරිය විඳින්නත් අපි කැමතියි. අපිට වගේම මේ මිහිතලයේ ජීවත්වෙන සෑම ජීවියෙකුටම මේ අවශ්‍යතා පොදුයි. අපි මේ මිහිතලය සැමට සුවදායක තැනක් කිරීමට අත්වැල් බැඳ ගන්න අවශ්‍ය ඒ නිසයි.

නමුත් කලක පටන් ලොව පුරාම වගේම ශ්‍රී ලංකාවේ අපටත් ජීවත්වීමට සුදුසු යහපත් පරිසරය අහිමි වෙමින් යනවා. කලින් කලට බලයට පත්වන පාලක කාරකාදීන්ගේ අධූරදර්ශී තීන්දු තීරණ වගේම මහජනතාවගේ ක්‍රියාකලාපයනුත් ඊට හේතුවෙලා තියෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අපේ රටෙත් මෑත කාලීනවපරිසර සංහාරයගැන පුළුල්ව කතා බහට ලක්වුණා. ඒ අතර එක පිට එක සිදුවන නාවික අනතුරු වලින් මේ පුංචි දූපත වටා තිබෙන සාගරයත් විනාශ වෙන්න පටන් අරන්. වනජීවී-මිනිස් ගැටුම් දිනෙන් දින ඔඩු දුවද්දී ඒවා අවමකරගන්න හදපු සැලසුම් හමස් පෙට්ටියේ පුස් කනවා. අලි පැටවුන් ජාවාරම වගේ අහස පොළොව නුහුලන අපරාධ යළි හිස ඔසවලාද, ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවාද කියන සැක සංකා මතු වෙනවා.

ගල්, වැලි හා පස් ප්‍රවාහනය සඳහා පැවති බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමෙන් පටන්ගෙන තමන් ප්‍රකාශ කරන දෑ චක්‍රලේඛ ලෙස භාරගන්න යැයි කියමින් පාලකයෝ ඉදිරියට ගියා. ඔවුන්ගේ කියුම් කෙරුම් හේතුවෙන් පසුගිය කාලයේ අභියෝගයට ලක්වූ වනාන්තර සහ පරිසර පද්ධතීන් ප්‍රමාණය සුළු පටු නැහැ. මෙරට ගහ-කොළ, සතා-සිව්පාවුන් සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට පවතින නීති ක්‍රියාත්මක කරන ආයතන වල අස්ථාවරත්වයන් ඇතිවීම, නිලධාරීන් අපහසුතාවයට පත් කිරීම හා දේශපාලකයන් විසින් ස්වභාවික සම්පත් විනාශකිරීමට ජනතාව පෙළඹවීම මෑත කාලීන පරිසර විනාශයට බලපෑ ප්‍රධාන හේතු.

කිසිඳු ලියවිල්ලක් ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීමේආණ්ඩුවේ ප්‍රතිපත්තිය වැරදි ලෙස අර්ථකථනය කරමින් මහා පරිමාණ වන විනාශයකට රට ඇද දැමීමට ඇතැම් දේශපාලකයින් සහ පරිපාලන නිලධාරීන් කටයුතු කලේ වර්තමාන රජය බලයට පත්වූ මුල් අවධියේ සිටමයි. එහි ප්‍රතිපලයක් ලෙස නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීමසඳහා අයදුම්පත් උත්සවාකාරයෙන් බෙදාහරිමින් ජනතාව වනාන්තර ඉඩම් අනවසරයෙන් අත්පත්කර ගැනීමට පෙළඹවීමට අවස්ථාවාදී දේශපාලකයින් සහ නිලධාරීන් කටයුතු කළා. ‘පාරම්පරිකව භුක්‌තිවිඳි ඉඩම්වල අයිතියදඩමීමා කරගෙන අනවසරයෙන් අල්ලා ගනු ලබන වනාන්තර ඉඩම් වලටද නීත්‍යානුකූලභාවයක් ලබාගත හැකි බවට ජනතාව තුල මතයක් ඇති කිරීමට ඔවුන් කටයුතු කළා. එසේ සාමාන්‍ය ජනතාවට සොච්චම් දොළපිදේනියක් ලබාදී ඉදිරියේදී මහා පරිමාණ ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් ඉඩම් ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට ඔවුන් කටයුතු කළා විය යුතුයි. පසුව ඊට අදාලව නිකුත් කෙරුණු ගැසට් පත්‍රය අවලංගු කිරීමට කටයුතු කෙරුණත්ගම සමග පිළිසඳරවැනි වැඩසටහන් හරහා ජනාධිපතිවරයා ලබා දුන් වාචික චක්‍රලේඛ සහ නියෝග මගින් සිදු වුණේ තවදුරටත් වන විනාශයට උඩගෙඩි දීමයි. තවද එම අවස්ථාවලදී අදාළ දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන් ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත්කිරීම මගින්ද සිදු වුණේ තත්ත්වය තව දුරටත් දරුණු අතට හැරීම.

මුළු මහත් පෘථිවියටම බලපෑමක් එල්ලකළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද ප්‍රකාශකළ එක්ස්ප්‍රස් පර්ල් නැව් අනතුර හේතුවෙන් අගතියට පත් සමුද්‍රජීවීන් වෙනුවෙන් පවා සාධාරණයක් වන බවක් පෙනෙන්න නැහැ. එම අනතුරෙන් පසු මෙතෙක් වාර්තාවී ඇති කැස්බෑ මරණ සංඛ්‍යාව පමණක් 176ක් බවත්, ඩොල්පින් සතුන් විස්සකට සහ තල්මසුන් සිව් දෙනෙකුටත් ජීවිත අහිමිවී ඇති බවත් නීතිපති විසින් අධිකරණයට දැනුම්දී තිබෙනවා. නමුත් එම සතුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල මරණයට හේතුව නිසැකවම සඳහන් කරන්න අවශ්‍ය විද්‍යාත්මක පරීක්ෂණ, නිරීක්ෂණ සහ නිගමන සිදුකරන්න රජයේ රස පරීක්ෂකට ප්‍රමාණවත් පහසුකම් නැහැ.

ශ්‍රී ලංකාව තුල එදාමෙදා තුර සිදුවූ විශාලතම සහ සංවිධානාත්මකම වනජීවී ජාවාරම මව් සතුන් මරා වනාන්තර වල සිටින අලි පැටවුන් අල්ලා මුදලට විකිණීම බව අමුතුවෙන් කිවයුතු නැහැ. පසුගිය සමයේ එසේ අල්ලාගත් බවට සැක කෙරුණු අලි පැටවුන් ගණනාවක් නීතියේ රැහැනට හසු වුණා. පසුව එම සතුන් නැවතත් ජාවාරම්කරුවන් වෙතම ලබාදීමට පිඹුරුපත් සැකසීමට ආණ්ඩුව නිර්ලජ්ජිතව පෙරමුණ ගත්තා. ඒ අවසරයෙන් යළිත් අලි පැටවුන් ජාවාරම පටන් අරගෙන ඇති බවට ලැබුණු තොරතුරක් අනුව විමර්ශන කරමින් සිටි වනජීවී නිලධාරීන් මැදට දුම්මල වරම අරං පැන්නේ කවුද කියලා මුළු ලෝකයම දැක්කා.

සියලු සතුන් වෙනුවෙන් ලෝකයේ ප්‍රථම අභයභූමිය ප්‍රකාශයට පත්කළ ජාතියකින් පැවත එන අපි මේවා මේ ආකාරයෙන් දිගටම සිදු වෙන්න ඉඩ දුන්නොත් අභයභූමියේ යන්න ඉබේම ගැලවිලා ගිහින් මේ බිම බියෙන් තැතිගත් දේශයක් බවට පත්වෙනවා. මුතුරාජවෙල ගොඩකිරීමට එරෙහිව පසුගියදා පවත්වපු උද්ඝෝෂණයට එරෙහිව, නිරෝධායන නීති දඩමීමා කරගෙන ක්‍රියාත්මකවූ රාජ්‍ය මර්ධනයෙනුත් පෙනෙන්නේ එහි පෙරනිමිති. 2019 මාර්තු මුල අභයභූමියේ සිට ලියමිතීරු ලිපිය ලියන්න පටන් ගත්තේ මෙවැනි තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුම්වත් කරන්න. ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ ඊට තාවකාලිකව විරාමයක් තබන්න සිදු වුනත්, අවුරුදු එකහමාරක පමණ නිහැඬියාවකින් පස්සේ නැවතත් මේ වෑයම ලක් පොළොව බියෙන් තොර බිමක් කරන්න.

Comments

Popular posts from this blog