රට වට බැඳි රන් වැට
(2020 01 20 දින)
දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් මුහුදු මට්ටම ඉහළ යාම මේ වනවිට බරපතල ප්‍රශ්න රැසක් ඇතිකරමින් පවතිනවා. සොබාදහම පිළිබඳව කිසිඳු තැකීමක් නොකරමින් මිනිසා විසින් වායුගෝලය වෙත මුදා හරින හරිතාගාර වායූන් මගින් හිරුගේ සිට පෘථිවිය වෙත ලැබෙන කිරණ අවශෝෂණය කරගෙන ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීම සිදුකරනවා. ඒ හේතුවෙන් අයිස් කඳු හා ග්ලැසියර් දියවී මුහුදේ ජල මට්ටම ඉහළ යනවා. ඒ වගේම එවරස්ට් වැනි කඳු මුදුන්වල පවා පැවති හිම ආවරණයන් දියවී ගංගා ඔස්සේ මුහුදට ගලා ඒම සිදුවෙනවා. එහි අවසන් ප්‍රතිපලය වන්නේ ද සාගරයේ ජල මට්ටම ඉහළ යාමයි. ලොව පුරා කුඩා දූපත් රාජ්‍යවලට හා විශාල රටවල පවා වෙරළාසන්න ප්‍රදේශ වලට මුහුදේ ජල මට්ටම ඉහළ යාම නිසා බලපෑම් එල්ලවී තිබෙනවා. ඉන්දියන් සාගරයේ දූපත් වාසීන් ලෙස ජීවත්වන අපටත් එමගින් බැහැරවීමට කිසිඳු හැකියාවක් නැහැ. නමුත් කුමන හෝ වාසනාවකට අපට අපේ රට මුහුදු මට්ටම ඉහළ යාමෙන් ආරක්ෂා කර ගැනීමට රට වට බැඳී රන් වැටක් සොබාදහම විසින්ම දායාද කර දී තිබෙනවා. එහෙත් අවාසනාවන්ත කරුණ නම් එහි වටිනාකම හරි හැටි වටහා නොගෙන අප එම ආරක්‍ෂිත වැට වනසා දමමින් සිටීමයි. නමුත් අප විසින් සැබැවින්ම කල යුත්තේ නැග එන මුහුදු රළ මගින් භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා රට වට ඇති ඒ රන් වැට ආරක්ෂා කර ගැනීම සඳහා කැපවීමයි. එනම් කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කරගැනීමයි.
මුහුදු මට්ටම ඉහළ යාම හමුවේ වැඩිම තර්ජනයක් එල්ලවී ඇත්තේ කුඩා දුපත් රාජ්‍යවලටයි. එමගින් එන්න එන්නම එම දූපත් රාජ්‍ය වල ජීවත්වන ජනතාවට ජීවත්වීමට ඇති සීමිත භූමිය අහිමි වෙනවා. ඊට අමතරව මිනිසාගේ පැවැත්මට ඉතා අත්‍යාවශ්‍ය ජලයට කරදිය මුසුවීම මගින් පරිභෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්වීම නිසා තත්ත්වය තවත් භයානක අතට හැරෙනවා. මෙම තත්ත්වය ලොව සෑම ප්‍රදේශයකටම පොදු උවදුරක් වන නමුත් පෘථිවි ගෝලයේ මතුපිට ඇති ජලයෙන් සියයට විස්සක් (20%) දරා සිටින ලොව තෙවැනි විශාලතම සාගරය වන ඉන්දියන් සාගරයට එමගින් සන්සන්ධනාත්මක්ව වැඩි බලපෑමක් එල්ලවෙනවා. පෘථිවි ගෝලයේ චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යනය කිරීම මගින් හෙළිදරව් කරගෙන ඇති කරුණු අනුව ඉන්දියන් සාගරය ආශ්‍රිතව ඇති බෙංගාල බොක්ක, අරාබි මුහුද, ශ්‍රී ලංකාව හා ජාවා සුමාත්‍රා ප්‍රදේශ වලට මුහුදු මට්ටම ඉහළ යාම දැඩි බලපෑම් එල්ලකර තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන මිලියනයකට වැඩි ජනතාවක් අවධානමට ලක්වී සිටීම කණගාටුවට කරුණක්.
මුහුදු මට්ටම ඉහළ යාම නිසා වෙරළාසන්න ප්‍රදේශ මුහුදුබත් වීමෙන් ගොඩබිම ක්ෂයවීම සිදුවෙනවා. මෝසම් සුළං සමයන්හිදී වෙරළ ඛාදනය ඉහළ යාම මගින් මෙම තත්ත්වය තවත් උත්සන්න වෙනවා. එමගින් එහි ජීවත්වන බොහොමයක් ධීවර ජනතාවට ජීවත්වීමට හා තම ජීවිකාව පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා. එසේම වෙරළබඩ ප්‍රදේශ ඔස්සේ දිවෙන මහා මාර්ග හා දුම්රිය මාර්ග, පොදු යටිතල පහසුකම් හා සංචාරක ව්‍යාපාර ප්‍රතිස්ථාපනය කිරීමට සිදුවීම නිසා විශාල ආර්ථික පීඩනයක් ඇතිවෙනවා. තවද ජල සංචිත වලට කරදිය මුසුවීම නිසා ඒවා පරිභෝජනයට ගැනීමට නොහැකි වෙනවා. එම ජලයේ ලවණතාවය ඉවත්කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන අතර අප වැනි දුප්පත් රටවලට එම වියදම් දරා ගැනීම අපහසුයි. ඒ මතුද නොව අධික ලෙස වැලි ගොඩදැමීම නිසා ගංගා වල ගැඹුර වැඩිවීමෙන් කරදිය රට තුලට ගලා ඒම දැනටමත් අප රටට ප්‍රශ්නයක් වී තිබෙන බව නොරහසක්. උදාහරණයක් වශයෙන් මේ වනවිටත් කැළණි ගඟ ඔස්සේ කිලෝමීටර් 15ක් පමණ දුරට රට තුලට කරදිය ගලා ඒම සිදුවෙනවා. මුහුදු මට්ටම ඉහළ යාමෙන් එම තත්ත්වය තව දුරටත් ඔඩුදිවීම නිසා ගංගා නිම්න ආශ්‍රිතව ජීවත්වන ජනතාවටද බලපෑම් එල්ල වෙනවා.
මෙම තත්ත්වය සැලකියයුතු මට්ටමකින් පාලනය කර ගැනීම සඳහා කඩොලාන ශාක ප්‍රජාව මගින් ලැබෙන දායකත්වය අති විශාල බව ෆීජි වැනි දූපත් රාජ්‍ය මගින් ඔප්පුකර තිබෙනවා. ශ්‍රී ලංකාවේ කඩොලාන ශාක විශේෂ 22ක් හමුවන අතර කඩොලාන පරිසර පද්ධති මගින් කලපු හා ගංගා මෝය ආශ්‍රිතව මුහුදු මට්ටම ඉහළ යාමෙන් ඇතිවන බලපෑම් අවම කිරීම සිදු කරනවා. එසේම කඩොලාන පරිසර පද්ධති ක්‍රමක්ක්‍රමයෙන් වර්ධනය වීම මගින් ගොඩබිම් ජනනය කිරීමද සිදුවන බැවින් මුහුදු මට්ටම ඉහළ යාමට එරෙහිව සටන් කිරීමට ඇති හොඳම මගක් ලෙස කඩොලාන වගාව හඳුන්වා දිය හැකියි. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන වලට අනුව ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිවෙලා තියෙන්නේ කඩොලාන හෙක්ටයාර් 15670 ක් පමණයි. එය රටේ මුළු වන වැස්මෙන් සියයට දශම දෙකක්.
බැමි ඉදිකිරීම හා ගල්වැටි දැමීම වැනි ඉංජිනේරුමය උපක්‍රම මගින්ද මුහුදු මට්ටම ඉහළ යාමෙන් ගොඩබිම ආරක්ෂා කර ගැනීමට අප රටද ප්‍රයත්න දරා ඇති නමුත් ඒවා අධික වියදම් සහිත ක්‍රම වේදයන් වන අතර එමගින් වෙනත් කිසිඳු ප්‍රතිලාභයක් ලැබෙන්නෙත් නැහැ. නමුත් කඩොලාන මගින් ප්‍රජාවට ආහාර හා ඉන්දන වැනි ද්‍රව්‍ය සෘජුවම ලබා ගත හැකි අතර මසුන්, ඉස්සන් හා කකුළුවන් වැනි සතුන්ගේ අභිජනන මධ්‍යාස්ථාන වශයෙන් කඩොලාන ක්‍රියාකිරීම නිසා එමගින් ධීවර ප්‍රජාවට මහත් වාසි සැලසෙනවා. කඩොලාන වනාන්තර සංචාරක ආකර්ශකයක් ලෙස භාවිතා කරමින් පාරිසරික සංචාරක කර්මාන්තය ද ප්‍රවර්ධනය කිරීමට පුළුවන්. ඒ මතුද නොව කඩොලාන මගින් වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ශාක වල තැන්පත්කරගැනීම නිසා දේශගුණ විපර්යාසය අවම කරගැනීම සඳහා ත් මහත් පිටුබලයක් ලැබෙනවා.
නමුත් එවැනි පසුබිමක්
තුල අප වැනි රටවල් තමන්ට සොබාදහමෙන් ලැබුණු මේ සීමිත දායාදය කිසිඳු අනුකම්පාවක්
රහිතව වනසා දමමින් සිටීම කණගාටුවට කරුණක්.
Comments
Post a Comment