බෝපාල් සහ බෝගහගොඩ

බෝගහගොඩ පරිසර සංවිධාන එකමුතුව

(2019 08 12 දින)

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ 1984 දෙසැම්බර් 3 වැනි දා සිදුවූ බෝපාල් ඛේදවාචකය පිළිබඳව ඔබ බොහෝවිට අසා තිබෙන්නට පුළුවන්. එදා මෙදාතුර ලොව සිදුවූ බිහිසුණුම කාර්මික අනතුර ලෙස සැලකෙන මෙම ව්‍යසනයට හේතුව යුනියන් කාර්බයිඩ් ඉන්දියා ලිමිටඩ් සමාගමේ කර්මාන්ත ශාලාවකින් කාන්දුවූ මෙතිල් අයිසොසයනේට් නම් විෂ වායුවක්. නිල සංඛ්‍යාලේඛ අනුව එමගින් 3,787 දෙනෙකුට ජීවිත අහිමිවූ බව සඳහන් වුවත් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු ගතවූ පළමු සති දෙක ඇතුලත 8,000 ක් පමණ මියගිය බවත් පසු කාලීනව එහි සෘජු සහ වක්‍ර බලපෑම් වලින් තවත් එවැනිම සංඛ්‍යාවක් මියගිය බවත් ඇතැම් වාර්තා පෙන්වා දෙනවා. තවද එමගින් ලක්ෂ හයක් පමණ විවිධ තාවකාලික සහ ස්ථීර ආබාධ වලට ලක්වූ බව ඉන්දීය බලධාරීන් පිළිගන්නවා. ලාභය පමණක් අපේක්ෂාවෙන් අදාළ සමාගම තම කර්මාන්ත ශාලාවේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු නොකර සිටීම සහ හදිසි අනතුරු වැළක්වීමේ පද්ධති අකර්මන්‍යව පැවතීම මෙම අවාසනාවන්ත තත්ත්වය ඇතිවීමට මුල්වූ බව මේ වනවිට කිසිවෙකුටත් රහසක් නොවෙයි.

ඉන්දියාවේ බෝපාල් ඛේදවාචකය සිදුවී වසර තිස්පහක් පමණ ගතවී ඇතත් ඉන්දියන් සාගරයේ අමුතු ඇටයේ බලධාරීන් තවමත් එවැනි කාර්මික අනතුරු අවධානම් නොතකා සිටීමෙන් සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන සිටීමෙන් බැටකන ජනතාවක් පිළිබඳව අපට ගාල්ල, බෝගහගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබෙන්නේ වසර ගණනාවක සිටයි. දිවයිනේ ප්‍රකට දේශීය පාවහන් සමාගමකට අයිති පරණ ටයර් ප්‍රතිචක්‍රීකරණය කරන කර්මාන්තශාලාවකින් සිදුවන වායු දුෂණය නිසා බලවත් අපහසුතාවයට පත්ව සිටින මෙම ජනතාව පිළිබඳව ලියුම්කරු පසුගිය ජුනි මස දහවැනිදා සුළු සටහනක් පමණක් තැබුවා. මේ සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවූ නඩුවේ තීන්දුව ඊට දින කිහිපයකට පසුව ලැබෙන්න තිබුණු නිසා. නමුත් එම නඩු තීන්දුවෙනුත් ජනතාවගේ අපේක්ෂා ඉෂ්ඨ වුණේ නැති නිසයි මෙම සටහන අභයභූමියේ සිට ලියන්න සිද්ධ වුණේ.

ප්‍රදේශයේ ජන ජීවිතයට සහ පරිසරයට බලපෑම් එල්ලකරන මෙම රබර් කර්මාන්තශාලාවට එරෙහිව බෝගහගොඩ ජනතාව අවුරුදු ගණනාවක් තිස්සේ කොතෙකුත් අරගල කලත් තවමත් එම පීඩාවන්ගෙන් ගොඩ ඒමට ඔවුන්ට හැකියාවක් ලැබී නැහැ. මෙම කම්හලෙන් සිදුවන විනාශකාරී බලපෑමට එරෙහිව පරිසර සංවිධාන සහ සමාජ ක්‍රියාකාරින් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 2018 අවුරුද්දේ පෙබරවාරි 21 වැනිදා සමාගමේ සභාපතිවරයා සියළු බලධාරීන් සහ නිලධාරීන් ඉදිරියේ පොරොන්දු වුණේ එම අවුරුද්ද අවසන්වීමට පෙර අදාළ කර්මාන්තශාලාව වහලා දාන්න. නමුත් අපේක්ෂාකළ පරිදි එසේ සිදුවූයේ නැහැ. ඒ වෙනුවට සිදුවුණේ මෙම සටනේ නායකයින්ට හිංසා කරමින්, සටනට සහයෝගය දැක්වූ ප්‍රාදේශීය දේශපාලකයින්, විදුහල්පතිවරුන්, භික්ෂූන්, මෙන්ම ප්‍රජා නායකයින්ට ලංසු තබමින්, සහ තමන්ගෙන් සිදුවන වැරැද්ද වහගන්න පැලැස්තර අලවමින් දේශීයසමාගම දේශයටම වල කැපීමයි.

ඒ නිසා ඉන්න හිතෙන රටක්හදන්නට තටමන මහා නගර සංවර්ධන අමාත්‍යවරුන් සිටින රටක තවමත් බෝගහගොඩ ජනතාවට ජීවත්වීමට සිදුවී ඇත්තේ ඉන්න හිටින්නට නොහැකිපරිසරයකයි. ‘ලඟම පාසැල - හොඳම පාසැලකරන්නට තතනන අධ්‍යාපන අමාත්‍යවරුන් සිටින රටක තවමත් බෝගහගොඩ, දොරපේ ද්වියිතීක පාසැලේ දරුවන්ට අකුරු කිරීමට සිදුවී ඇත්තේ නිතර විෂ වායු කාන්දුවීමෙන් රෝගාබාධ වලට ලක්වී රෝහල් ගතවීමට සිදුවන පාසැලකයි. ආශ්‍රිත ප්‍රජාවට හිසරදය, ක්ලාන්තය, සහ ඔක්කාර ඇතිකරන ඇතැම් විට සිහිසුන් කර රෝහල්ගතකරන විෂ වායුව කර්මාන්තශාලාවෙන් බාහිර පරිසරයට නිකුත්වීම වැළක්වීමට බලධාරීන්ට තවමත් හැකියාව ලැබී නොතිබීම විමතිය දනවන සුළුයි.

බෝපාල් ඛේදවාචකයේ ප්‍රධාන වගඋත්තරකරුවා මෙන්ම වගකිවයුත්තා වන බොපාල් යුනියන් කාර්බයිඩ් සමාගමේ ප්‍රධානි ඇමෙරිකානු ජාතික වොරන් ඇන්ඩර්සන් වගේම බෝගහගොඩ වායු දුෂණයට හේතුවී ඇති කර්මාන්තශාලාවේ හිමිකරුවාද සමාජයේ යෙහෙන් වැජඹෙනවා. බෝපාල්හි අභාග්‍යසම්පන්න සිදුවීමට දින දෙකකට පසු ප්‍රාදේශිය පොලීසියක් විසින් අත් අඩංගුවට ගන්නා ලද වොරන් අවශ්‍ය වූ විට යළි පෙනී සිටින බව පවසා අධිකරණයෙන් ඇප ලබා ගෙන රහසේම ඉන්දියාවෙන් පළාගිය අතර කෙදිනකවත් ඉන්දියාවට පා තබන්නේවත් ඒ පිලිබඳ අදහසක් දක්වන්නේත් නැහැ. ඒ වගේම මෙම කර්මාන්තශාලාවේ හිමිකරුත් කිසි දිනක අධිකරණයකට අඩියක්වත් තබා නැහැ. ඔහුගේ හෙංචයියන් විසින් නීති අනපනත් උල්ලංඝනය කරමින්, තමන්ට එරෙහිවන ක්‍රියාකාරීන් මර්ධනය කරමින්, ඇතැම් ක්‍රියාකාරීන් සාක්කුවේ දමාගනිමින් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අඳ ගොළු බිහිරන් බවට පත්කරමින් උක්ත විනාශකාරී කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු කිසිඳු බාධාවකින් තොරව කරගෙන යමින් සිටිනවා.

ශ්‍රී ලංකාව තුල ඕනෑම කර්මාන්තශාලාවක් පවත්වාගෙන යාම සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගතයුතු වුවත් මෙම කර්මාන්තශාලාව අවුරුදු කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වන්නේ එවැනි බලපත්‍රයක්ද නොමැතිව බවයි දැනගන්නට ඇත්තේ. නමුත් ඒ ගැන හාරා අවුස්සන්නට හෝ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට, මහජනතාවගේ බදු මුදලින් නඩත්තුවන පරිසර ආරක්ෂණ ආයතන වල මහජන බදු මුදලින් යැපෙන කිසිම රාජ්‍ය නිලධාරියෙක් ඉදිරිපත් වන්නේත් නැහැ. නමුත් තමන්ට සිදුවී ඇති අවනඩුව කියන්නට අධිකරණයට යාමට ජනතාව කටයුතු කරද්දී නම් එම අධිකරණ වලින් කැකිල්ලේ පන්නයේ තීන්දු ලැබෙන ආකාරයට කොම්පැණියට අවශ්‍ය පරිදි ගිරව් වාගේ සාක්ෂි ලබාදීමට නම් එම නිලධාරීන් ඉතා ඕනෑකමින් කටයුතු කරන්නේ උන්ට පඩි නඩි බේරන්නේ කොම්පැණියද කියන ප්‍රශ්නය මතු කරමින්. ප්‍රාදේශීය, පළාත් සහ ජාතික මට්ටමේ දේශපාලකයින් පමණක් නොවෙයි ජනාධිපති දක්වාත් මේ ප්‍රශ්නය ගිහින් තිබුණත් ඔවුන් එම පුටුවල ඉන්දවූ ඡන්ද දායකයින්ට තවමත් සැනසීමක් නැත්තේ මේ රට පාලනය කරන්නේ වෙන කවුරු හරි හිංදද මන්දා?

Comments

Popular posts from this blog