සයිටීස් සමුළුව
(2019 09 02 දින)
එදා මෙදාතුර අපේ රටේ පැවැත්වීමට සලසුකර තිබුණු විශාලතම අන්තර්ජාතික සම්මන්ත්‍රණය, 18 වැනි සයිටීස් සාමාජික මහා සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පහුගිය 28 වැනිදා නිමාවට පත්වුණා. එය ශ්‍රී ලංකාවේදී සංවිධානය කිරීම සඳහා වෙන්කෙරුණු මුදල් සම්භාරය තමන්ගේ සාක්කුවට දමාගන්න එක එකා ඇනකොටා ගැනීම සහ ඊට විරෝධය පාමින් ඇතැම් අවංක නිලධාරීන් සමුළුවේ සංවිධාන කටයුතුවලින් ඉල්ලා අස්වීම නිසා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි තත්ත්වයකුයි ඇතිවී තිබුණේ. නමුත් ඒ සමගම එල්ලවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවක් කරගනිමින් යන්තමින් තමන්ගේ නිරුවත සඟවාගෙන සමුළුව පැවැත්වීමේ වගකීමෙන් නිදහස්වෙන්න ඒ දුෂිතයින්ට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් ඒ ගැන වැඩි විස්තර මෙහි සඳහන් කරන්න උනන්දු වෙන්නේ නැත්තේ මෙම සමස්තයම හරවත් යැයි ලියුම්කරුට නොසිතෙන නිසා.
සයිටීස් එහෙමත් නැත්නම් වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (CITES) 1973 අවුරුද්දේ වොෂින්ටනයේ දී අත්සන් තබා 1975 දී බලාත්මක කෙරුණේ මෙම ගෝලීය ජාවාරමට වැට බැඳීමේ එක් පියවරක් ලෙස. අද වන විට මෙහි සාමාජික සංඛ්‍යාව රටවල් 183ක් දක්වා ඉහළ ගිහින්. ඒ වගේම ශ්‍රී ලංකාවත් 1979 අවුරුද්දේදී මේ සම්මුතියට අත්සන් කළා. සයිටීස් සම්මුතියෙහි මූලික සංකල්පය වෙන්නේ අන්තර්ජාතික වෙළෙඳාම නිසා තර්ජනයට ලක් වී ඇති වන සතුන් සහ පැළෑටිවලට අදාළ වෙළෙඳාම පාලනය කිරීම මගින් එම ජීවීන් සංරක්‌ෂණය සිදුකිරීම.
මේ මිහිතලය මත ක්‍රියාත්මකවෙන නීතිවිරෝධී ධනෝපායන ක්‍රම අතර ඉහළින්ම ඇත්තේ අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම කියලා පොදු පිළිගැනීමක් තිබුණත් ඊට බොහෝ දුරට සමාන හෝ සමහර විට ඊටත් එහා ගිය විශාල හා සංකීර්ණ නීතිවිරෝධී ජාවාරමක් හැටියට වනජීවී ජාවාරම හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. ඉතා භයානක මාෆියා කල්ලි වලින් ලොව පුරා මෙහෙයවන අන්තර්ජාතික වනජීවී ජාවාරම මගින් වාර්ෂිකව උපදවන ධනස්කන්ධය ඇමරිකන් ඩොලර් බිලියන ගණනක්. එමගින් ලැබෙන විශාල ලාභ ප්‍රයෝජන නිසා ලොව බොහෝ රටවල්වල මෙම ජාවාරම් මැඩලීමට වගකිවයුතු පාර්ශව කටයුතු කරන්නේ ඉතාම නිද්‍රශීලී ආකාරයෙන්.
ශ්‍රී ලංකාවත් අන්තර්ජාතික වනජීවී ජාවාරම් සම්බන්ධයෙන් තීරණාත්මක මර්මස්ථානයක් නිසා මේ මාතෘකාව අපටත් ඉතා වැදගත්කමක්. දේශසීමාවෙන් පිටතට දිගහැරෙන වනජීවී ජාවාරම් මේ මොහොතේත් විශාල වශයෙන් අපේ රට තුලත් සිදුවෙමින් පවතිනබව නොඅනුමානයි. ඒ වගේම වනජීවී ජාවාරම්කරුවන්ගේ ප්‍රකට ගොදුරුබිම් වන අප්‍රිකානු රටවල් හා ගැනුම්කරුවන් වන ආසියානු රටවල් අතර මුහුදු ගමන් මාර්ගයේ මධ්‍යගතව පිහිටා තිබීම නිසා අන්තර්ජාතික වනජීවී ජාවාරමේ මධ්‍යස්ථානයක් වශයෙනුත් ශ්‍රී ලංකාව ක්‍රියාකරනවා.
දුර්ලභ හා වැඩි වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්වූ ගස් වැල් හා සතුන්ට වනජීවී ජාවාරම්කරුවන්ගෙන් ඉහළම මිලක් නියම වෙනවා. ඇත් දළ, රයිනෝ අං, කොටින්ගේ ශරීර කොටස්, කබල්ලෑ පොතු වැනි ද්‍රවය වලට මේ ආකාරයෙන් ලෝක වෙළඳපොලේ ඉහළම මිලක් නියම වෙනවා. ඒ අතර අපේ රටෙන් අල්ලාගෙන ගිහින් විදේශීය සුරතල් සත්ව වෙළඳපොළවල විකිණෙන මෙරටට ආවේණික මසුන් හා උරගයින් වැනි සතුන් දේශසීමාවෙන් එහාටත් පැතිරුණු අපේ වනජීවී ජාවාරම් වලට නිදසුන් සපයනවා. ශාක හා සතුන්, කොටස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන විදේශගත කිරීම සඳහා දැරුණු උත්සාහයන් ශ්‍රී ලංකා රේගුවට හසුවූ අවස්ථාත් එමටයි. ඒ අතර පහුගිය 2016 අවුරුද්දේ ගාළු මෝදරදී විනාශ කෙරුණු අප්‍රිකානු ඇත්දළ තොගය ශ්‍රී ලංකාව හරහා සිදුවන අන්තර්ජාතික වනජීවී ජාවාරමටත් සාක්ෂියක්.
ගෝලීය වනජීවී ජාවාරම ප්‍රධාන වශයෙන් පදනම්වෙලා තියෙන්නේ මිත්‍යාවන් හා පුහු ආටෝප මතයි. උදාහරණයක් වශයෙන් අවුරුද්දකට සිය දහස් ගණන් ඇතුන් මරා ලබාගන්නා ඇත්දළ වලින් නිර්මාණය කෙරෙන්නේ මුග්ධ ධනකුවේරයින් හා උන්ගේ නිවෙස් සරසන ආභරණ හා කැටයම් භාණ්ඩ. නමුත් අපි සැබෑ ලෙසම දන්නා පරිදි සත්ව කොටස් වලින් සකස්කළ පළඳනා භාවිතාකර ඇත්තේ නොදියුණු අතීත මානවයන්. මිනිස්සු ගල්ගුහා වලින් එළියට ඇවිත් දියුණු ශිෂ්ඨාචාර ගොඩනගලා ගොඩක් කල් වුනත් මුන්ගේ සිතුවිලි තවමත් තියෙන්නේ දඩයම් යුගයේ. ඒ වගේම රයිනෝ අං, කොටින්ගේ ශරීර කොටස්, කබල්ලෑ පොතු යොදා ගන්නේ චීන පාරම්පරික ඖෂධ නිෂ්පාදනයට. නමුත් තවමත් එවැනි ඖෂධ මගින් කිසිම ලෙඩක් සුවවෙන බව විද්‍යාත්මකව ඔප්පුවෙලා නැහැ. ඉතින් මේ පුහු ආටෝප හා මිත්‍යා මත පරාජය කරන්න පුළුවන්නම් වනජීවී ජාවාරම මැඩලීම අමාරු කටයුත්තක් නෙවයි. නමුත් මිනිසුන්ගේ ඔළුවල තියෙන මනස්ගාත දුරුකරන්න ලේසි නැහැ.
සයිටීස් සම්මුතිය මගින් අන්තර්ජාතික වෙළෙඳාම නිසා තර්ජනයට ලක් වී ඇති වන සතුන් සහ පැළෑටි වෙළෙඳාම පාලනයකර එම ජීවීන් සංරක්‌ෂණයට යම්කිසි දායකත්වයක් ලබා දුන්නත් එමගින් බලපත්‍රලාභී වනජීවී වෙළඳාමට අවසර ලබාදී තිබෙනවා. ඒ අතරේ අන්තර්ජාතික වනජීවී ජාවාරමත් වැඩි අවහිරයකින් තොරව අඛණ්ඩව හා අසීමාන්තිකව සිදුවෙන නිසා CITES කියන්නේ තවත් එක ඇස් බැන්දුමක් විනා සැබෑ සංරක්ෂණ මෙවලමක් කියලා ලියුම්කරුටනම් හිතන්න අමාරුයි.
සෑම
රටකම වනජීවී ජාවාරම මැඩලීමට ප්‍රධාන බාධාවක් වෙලා තියෙන්නේ දුෂිත රාජ්‍ය නිලධාරීන්,
දුර්වල අධිකරණ පද්ධති,
නීතියේ ඇති හිදැස් සහ ලිහිල් දඬුවම්.
බොහෝ
විට මේ ජාවාරම් වල බිම් මට්ටමේ ඉන්න පොඩි
උන්ට විතරක් සුළු දඬුවමක් ලැබෙනවා මිසක් ජාවාරම්
මෙහෙයවන මහා මොළකරුවන් මර්ධනය
කරන්න පුළුවන් තරම් ප්‍රභල නීති ප්‍රතිපාදන හෝ ශක්තිමත් යාන්ත්‍රනයන් නොමැති නිසා මේ
මොන සම්මුති තිබුණත් වනජීවී ජාවාරම තවමත් අධික ලෙස ලාභ ලැබියහැකි අඩු
අවධානම් ව්‍යාපාරයක් හැටියට ලොව පුරා ක්‍රියාත්මක වෙනවා.
Comments
Post a Comment